නිර්මාතෘ

සමාධි බෞද්ධ මධ්‍යස්ථාන නිර්මාතෘවර විද්‍යාපති, ශාස්ත්‍රපති පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමිපාණෝ දස හැවිරිදිවියේදී හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙනේ ගාලු-මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපවත් වී වදාළ කීර්ති ශ්‍රී පේමානන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නාහිමිවරුන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් ලෙස උතුම් පැවිදිභාවයට පත්වූහ.

හබරකඩ ශ්‍රී විජයානන්ද, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන් වලින් මූලික අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය, සමාජ විද්‍යාව සහ බෞද්ධ සංස්කෘතිය පිළිබද ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබද ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් ලබාඇත. බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබද ශාස්ත්‍රපති උපාධියද, කැළණිය විශ්වවිධ්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබද ඩිප්ලෝමාවද, ඉන්පසුව එහි විද්‍යාපති උපාධිය ලබාඇති සමිද්ධි හිමිපාණො ඉංග්‍රීසි භාෂාව පිළිබද ප්‍රවීණත්වයක් ලබා ඇත. දැනට ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයේ ජර්මන් භාෂාව හදාරමින්, ආචාර්ය උපාධිය සම්පූර්ණකරමින් සිටිති.

පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමි ග්‍රන්ථ කිහිපයක්, පුවත්පත් මගින් ධර්ම ලිපි රාශියක් පළකර ඇති වියත් ලේඛක හිමිනමකි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය මගින් ධර්ම සන්නිවේදනයෙහි යෙදෙන අතර ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවරවල යෙදෙන දීප්තිමත් ආදර්ශවත් තරුණ භික්ෂූන් වහන්සේ නමකි.

බෞද්ධ දර්ශනයෙන් සහ අනෙකුත් දර්ශනයන්ගෙන්ද, විවිධ විෂයන් පිළිබද මනා දැනුමෙන්ද, ජීවන අත්දැකීම්වලින්ද තම චින්තනය අවදිකරගත් සමිද්ධි හිමිපාණෝ සෑමවිටම ඉවසීමෙන්,මෙත්සිතින් කටයුතු කරති. රටදැය සමයේ සුභසිද්ධිය පිණිස 2009 වර්ෂයේදී සමාධි පරිසර සහ සමාජ සංවිධානය ආරම්භයද, ජර්මනියේ බොන්හි 2013 දී සමාධි බෞද්ධ සංගමයද, 2014 දී සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයද ආරම්භ කරන්නේ උන්වහන්සේගේ යහ පරිශ්‍රමයන්ගේ ප්‍රතිඵලයන් ලෙසය.
 
                         සමිද්ධි හිමියන් විසින් රචිත "ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ප්‍රවේශයක්" කෘතිය   ජනාධිපතිතුමන්ට පිළිගැන් වූ අවස්ථාව.

No comments:

Post a Comment