Monday, December 31, 2018

අපෙන් තොර ලෝකය දෙසට......

මිනිසාගේ පුරුද්දක් වන්නේ තමන්ගේ අදහසට, මතවාදයට ගැලපෙන දෙවල් බාහිර ලෝකයෙන් සොයාගැනීමයි. නැතිනම් ඊට ගැලපෙන ලෙස බාහිර ලෝකය වෙනස් කිරීමට උත්සහ කරයි. හොද සහ නරක, කලු සහ සුදු ලෙස අපි පුද්ගලයන්, සිදුවීම් සහ වෙනත් දේවල් නම්කරන්නේ මේ නිසාය. අපේ ආගමට, ජාතියට, කුලයට, දේශපාලන පක්ෂයට  අයිති අය හරිහොදයි ලෙස නම් කරයි. මෙම කැමැත්ත අකැමැත්ත මත අපි සියල්ල තීරණය කරමු. හොද කෑම, අපේ කෑම, සදාචාරසම්පන්න ඇදුම ආදී සෑම දේම අපි හොද, නරක ලෙස වරග කොට ඇත්තේ අපේ ලෝකයේ කැමැත්ත මතය.

අපේ ලෝකය පමණක් නිතරම හොදයි උතුම් කියල හිතන මිනිසුන් අවිඤ්ඤාණවකම හෙවත සිහියෙන් තොරව පුලුල්ව සිතීමේ මනස වසා දමයි. බාහිර ලෝකයේ විවිධ දේවල්වලට වෛරකරමින් අගතිගාමී පුද්ගලයෙක් බවට පත් වේ. අපේ අපෙක්ෂාව අනුව පමණක් ලෝකයාදෙස බැලීම යනු දුක්ඛ දෝමනස්සයන් ඇතිකරවීමකි. මෙය උදාහරණයකින් පැහැදිලි කරමි: භාවනා කිරීමට උත්සහකරන කෙනෙකු භාවනාවේදී ලැබෙන ප්‍රතිඵල මෙවායයි තදින් අපෙක්ෂා පටන්ගන්නේ නම් ඔහුට එම ප්‍රතිඵල නොලැබෙන විට දොම්නසට පත් වේ. 
වැඩි අපෙක්ෂා නැතිව භාවනා කිරීම පටන්ගත් කල්හී මනස, සිතුවිලි,  ශරීරය සහ හැගීම් ගැන නිරීක්ෂණය කරයි. එම අභ්‍යාසය මගින් ඔහු අවබෝදයට පත් වේ.  වෙනත් දෑ නිරීක්ෂණයකොට ඒවායේ සුවශේෂතාවයන් දැක තෙරුම්ගැනීම උසස් පෞරුෂයක ලක්ෂණයකි.

Thursday, December 20, 2018

විද්‍යාව යනු සීමාමායිම්වලින් තොරව සිතීමයි = ප්‍රජාතන්ත්‍රවාදය

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මූලික ලක්ෂණය විද්‍යාව මත පදනම්වීමයි. එනම් සිතීමෙන් සහ විමසීමෙන් හේතූන් දැක සමස්ත සමාජයට යහපත සැලසීම ප්‍රජාතන්ත්‍රවාදයක පවතින ගුණයකි. එහිදී කිසිදු පුද්ගලයෙකුට හෝ ජන කොටසකට ජාතිය, ආගම්, පළාත්, අබාධිත,වෙනත් ලිංගික වෙනස්කම් හෝ වෙනත් වෙනස් කම් සලකා උසස් හෝ පහත් කිරීම සදාචාර නොවේ.

මෙම සටහන තැබීමට හේතුව නම් ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයට අවු.200ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද උත්සවයයි. එහි තේමාව නම්  "විද්‍යාව යනු සීමාමායිම්වලින් තොරව සිතීමයි"යන්නයි.
උත්සවයේ ආරාධිත දේශනය කළ ජර්මනියේ ජනපති ෆ්‍රැන්ක් වල්ටර් ස්ටයින්මයර් පවසන ලද්දේ විශ්වවිද්‍යාලයකට අවශ්‍ය සීමාමායිම්වලින් තොරව නිදහසයි. එය රාජ සංකල්පවලින් හෝ දේවත්වයකින් නොලැබේ. නිදහස්ව සිතීම යන්න සමාජය විසින් තහවුරු කළයුතුයි. සමාජය විසින් එය ආරක්ෂා කළයුතුය.  
ලංකේය සමාජයේ දියුණුව ගැන සිතින සියලු පුරවැසියනට මෙය ධනාත්මක ගුණයක් බවට පුහුණු කළහැකිය. පක්ෂ, ආගම්, වර්ගභේද, වෙනත් රටවැසියනට ගැරහීමෙන් වෙන්ව නක්ෂත්‍ර, කොඩිවින ආදී ගූඪවිද්‍යාවන්ගෙන් ඉවත්ව නිදහස්ව සිතන, අනෙකාට ගරුකරන, හේතුවිමසන, කරුණු දැක අවබෝදයෙන් කටයුතු කරන මිනිසුන් ලෙස නිදහස් මනසින් කටයුතු කළහැකිය.

Friday, May 11, 2018

බුද්ධි මට්ටම අතින් අපි ඉන්නේ පහළ මට්ටමක

ලාංකේය සමාජයේ බුද්ධිමට්ටම පිළිබඳව ආචාර්ය අසන්තා අත්තනායක දක්වන අදහස් සංවාදයට ගතයුතුය. බුද්ධි මට්ටම පහළවැටීමටත්, දුප්පත්කම ඉහළ නැගීමටත් සමාජයකට අවශ්‍ය කොටස් දෙකක අඩුව දක්වන්නීය.

පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා.
අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.

මම මෙහිදී අවධානය යොමු කරන්නේ බුදු දහම දර්ශනයක්, චින්තනයක් ලෙස ජනයාගේ චින්තනයට කරණ අඩු බලපෑමයි. ආගමක් ලෙස එය රැකගතයුතු දෙයක් ලෙස බැසගත් මතවාදයක් ඇත. කර්මවාදය නියතියක් ලෙස සලකන හින්දු විශ්වාස සහ වෙනත් ගූඪ විද්‍යාවන් සමග සුසංයෝගි වූ හුදු විශ්වාස පද්ධතියකි. අපාය, දිව්‍ය ලෝකය, නැවත ඉපදීම වැනි දුක්වලින් පලායෑම හෝ සදාකාලික ගැලවීමක් ලෙස බණ කියන අසමාජීය ආගමක්බවට පත් කොට ඇත.
කාලාම,වීමංසක වැනි සූත්‍රවල ඉගැන්වෙන නිදහස් චින්තනයක් දෙසන්නෝ විරලය. අනිත්‍ය, දුක්ඛ වැනි සදාතනික ධර්මය ජීවිතයේ දියුණුවට පහදා දෙන දාර්ශනිකයෝ නැත. භාවනාව එලොවට නොව මොලොව හිතසුව පිණිස උගන්වන්නෝ සහ වඩන්නෝ නැත. බෞද්ධ නිදහස් චින්තනය දෙසනකළ, අසාදාරණයට, දූෂණයට එරෙහිව සදාචාරය කතා කරන දවසට, දාර්ශණිකව වෙනස්වීම අවබෝදකරගැනීමට හිතන දවසට, සිත පිරිසිදු කරගැනීමට භාවනා කරණ දවසට බුද්ධි මට්ටම ඇතිවනු ඇත.
පහතින් සම්පූර්ණ ලිපිය කියවන්න.
ලෝකයේ අනෙක් රටවල බුද්ධි මට්ටම් හා සැලකීමේදී අප සිටින්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.
සාක්ෂාරතාව සියයට 98ක් යැයි මහ ඉහළින් කීවත් බුද්ධි මට්ටම අතින් අප පහළ මට්ටමක සිටින්නේ යැයි ද සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම යනු හාත්පසින්ම වෙනස් මිණුම් දඬු දෙකක් යැයි ද ඇය කීවාය.
ලෝකයේ සම්මත ආකාරවලට අනුව බුද්ධි මට්ටම ගණනය කරන බවත් එහිදි අප අයත් වන්නේ 72ත් 82ත් අතර බුද්ධි මට්ටම් ස්ථරයට බවත් තවත් පහළට වැටුණහොත් අපි මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා යැයි ද ආචාර්ය අත්තනායක මහත්මිය පැවැසුවාය.
බී.ඒ.ඩී ජයන්තර වීරසිංහ මහතා රචිත ‘ජීවිතය ජයගන්නට මා ආ ගමන් මඟ’ කෘතිය සම්බන්ධයෙන් රාජගිරිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැති කතිකාවකදී අදහස් දක්වමින් ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය එම කරුණු කීවාය.
“අපිට සමාජයේ වෙන දේවල් දැක්කම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. බුද්ධි මට්ටම ඉහළම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ දකුණු කොරියාව. ඉන් අනතුරුව ජපානයත් ඊට පසු යුරෝපා රටවල් සිටිනවා. ඉන්දියාවත් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. දකුණු කොරියාවේ බුද්ධි මට්ටම 102. ඉන්දියාවේ 84යි. අපි ඉන්දියාවටත් පස්සෙන් ඉන්නේ. 
අපි සාක්ෂරතාව වැඩි කියලා මහ ලොකුවට කියනවා. සාක්ෂරතාව කියන්නේ තමන්ගේ නම ලිවීමට හා කියවීමට ඇති හැකියාවයි. සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමවේද ගැන සතුටු වෙන්න බැහැ.
බුද්ධි මට්ටම ගත්තාම මේවා ජාත්‍යන්තර ඒවා බටහිර දේවල් කියලා ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. එහෙත් අපි ඉන්නේ කනගාටුදායක තත්ත්වයක. මේ මිණුම් දඬු ජාත්‍යන්තරය පිළිගන්නවා.
මේ ගැන බොහෝ දේ අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. බුද්ධි මට්ටම දර්ශකයක් තිබෙනවා. මෙය අපේ සමාජයේ අපේ රටේ හරස්කඩක්. 
අපි ඉන්නේ මන්දබුද්ධික මට්ටම් සීමාවේ. අපි තවත් පහළට ගියොත් මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා. මේවා මම කියන දේවල් නෙමෙයි. අන්තර්ජාලයෙන් හෝ පත පොතින් මේ දේවල් බලන්න පුළුවන්. 
මගේ ස්වාමිපුරුෂයා විදේශිකයෙක්. ඔහුත් මේ දේවල් සම්බන්ධයෙන් උනන්දුයි. ඔහු අපේ රට දෙස බලන්නේ වෙනස් විදියකට. විදේශිකයෙක් විදියට. රටක් දියුණු කරන්නට සමාජ ස්ථර දෙකක් පිරිස් වර්ග දෙකක් අවශ්‍ය බව ඔහු කියනවා. එහෙත් ඒ කොට්ඨාශ දෙකම අපේ රටේ නැති නිසා අපේ රට දියුණු කරන්න බැහැ කියලා ඔහු කියනවා.
මේ කොටස් දෙකෙන් පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.
එහෙත් අරගල කරන්න මිනිස්සු නැහැ අපේ රටේ. හිතන්න මිනිස්සු නැහැ. දැක්මක් තිබෙන බුද්ධිමතුන් නැහැ. ඉහත කියපු ස්ථර දෙක නැතිනම් කොටස් දෙකම අපේ රටේ නැහැ. 
අපේ චින්තකයෝ, දාර්ශනිකයෝ, බුද්ධිමතුන් බොහෝමයක් රට අත්හැරලා ගිහින්. අපේ රටේ දුප්පත් ජනතාවගෙන් බොහෝමයක් මැද පෙරදිග හෝ වෙනත් රටවල ශ්‍රමික සේවයට ගිහින්. අපේ රටේ දැන් ඉන්නේ මැද ජනතාව නැතිනම් සාමාන්‍ය ජනතාව. ඔවුන් සාමාන්‍යයි. ඔවුන්ට ඕනෑම සාමාන්‍යය තත්ත්වයක ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ට ගැටලුවක් නැහැ.
දුප්පත් ජනතාව සිටියා නම් අරගල කරනවා. සාමාන්‍ය ජනතාව අතින් එය සිදුවන්නේ අඩුවෙන්. අපේ රටේ තාර්කිකව හිතන මිනිස්සු අඩුයි. හේතු සොයාගන්නා ඒවා සාධාරණීයකරණය කරන ඒ වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු අඩුයි. අපේ ළමයි බුද්ධිමය අතින් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අපේ දරුවන්ව ඒ දේවල්වලින් මුදා ගන්න ඕනේ. ඒ සඳහා කළ යුතු බොහෝමයක් දේ තිබෙනවා.
අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා” යැයි ද ආචාර්යවරිය තවදුරටත් කීය.
දේශපාලකයන් හැසිරෙන ආකාරයෙන් සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් ඉහත කරුණු සම්බන්ධයෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් පැවැසීය.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
උපුටාගැනීම මෙතැනින්

Tuesday, March 20, 2018

නයි වෛරය




බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජය සැමරීමේදී භාවිත නාග නැටුම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ කෝපය වෛර  දක්වා වර්ධනය වූ ආකාරය මම නිරීක්ෂණය කළෙමි. 
නගයා පෙන්වීම ශ්‍රී ලාංකේය සමාජයේ අනෙකා කොචොක් කිරීමකි. මෙම සමාජ විඤ්ඤාණය නාග නැටුම වරදවා තෙරුම් ගන්නා ලදි. නාග නැටුම ගැන බංගලීන්ට ඇත්තේ ප්‍රීතිය පළකිරීමේ තේරුමකි. 
ශ්‍රි ලාංකේය යෞවන ක්‍රීඩකයන් කෝප වුයේ ඇයිදැයි බංගලාදේශ ක්‍රීඩකයින්ට තෙරුම්ගැනීමට නොහැකිවිය.එකම සංකේතය සමාජ දෙකක් දෙවිදියකට තෙරුම්ගැනීම නිසා දෙරට ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් බද්ධ වෛරයකට මුලපුරා ඇත. මේ නිසා ලාංකේය ප්‍රෙක්ෂකයන්ගේ අනගි සහය ඇතිව නිදහස් ක්‍රිකට් කුසලානය ඉන්දියාව ජයග්‍රහනය කරන ලදි
 
බුදුන් වහන්සේගේ සදාතනික ධර්මය සිහි කරන්නේ නම්:

දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුකසේ වෙසේ. උපශාන්තයා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ.

අනෙකා තෙරුම් ගැනීමෙන්ම තමයි මෛත්‍රිය හදවතේ ඇති වන්නේ.

Friday, January 19, 2018

කාන්තාවන්ට මත් ද්‍රව්‍ය මිලදී ගැනීම තහනම් ද?





කාන්තාවන්ට මත් ද්‍රව්‍ය මිල දී ගැනීම තහනම් බව දැනගත්තේ ජනාධිපති මැදිහත් වී අණ්ඩුව විසින් කරණ ලද කාන්තාවන්ට මත් ද්‍රව්‍ය මිල දී ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ නීති සංශෝදනය වැළැක්වීමෙනි. එතෙක් මා හිතුවේ ලංකාවේ සංස්කෘතිය තුළ කැපී පෙනෙන ලෙස කාන්තාවන් සුරාපානය, දුම්පානය වැනි දේ නොකළත් ඔවුන්ට ඒවා මිළ දී ගැනීමේ අයිතිය ඇති බවයි. මන්ද ලංකාවේ කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් නීත්‍යානු නොවන අන්දමින් මත් ද්‍රව්‍ය වෙළදාමෙහි නිරතවන්නීය.

මම ඉපදුන බටුවංගල ගමේ කැළැවල්වල හෝ ඇතැම් ගෙවල්වල රා, කරිඤ්ඤං, කසිප්පු විකුණුවේ බහුතර කාන්තාවන්ය. දිනක් කතරගම ගිහිං එන අතර මග මා ගිය වන්දනා බසය නතර කළේ "රා බොමු" තැනකය. මම ඒ වන විට කුඩා සාදු කෙනෙකි. පිරිමි පෝළිමට කුඩා දොරකින් රිංගුවෝය. මට චූ බරක් තිබූ බැවින් මමද අවසානයට වැඩම කළෙමි. බැලින්නම් අඩි 6 පමණ උස තරබාරු කාන්තාවක් පිරිමින්ට රා බෙදන්නීය. ඇය මා දැක "අනේ මටත් ඉන්නවා මේ වගේ පැංචෙක්" කියලා රා බෙදන වැඩේ පැත්තකට දා මාව වැසිකිලියට ගෙනගියේය. අනෙක් අය ඇය ඇමතුවේ "ලොක්කි අම්මා" ලෙසය. මා අවසන් වරට වැඩි කාලයක් වාසය කළ හෝකන්දර ද තත්වයේ වෙනසක් නැත. වෙනසකට වූයේ හෙරෝයිං ප්‍රවාහනයේ දී කාන්තාවන් ප්‍රමුඛවීමයි. ඔවුන්ට කළ හැකි වෙනත් වෘතීන්ද අඩුය. දරුපවුලක් නඩත්තුවට ඇතැම් අය කරන ජීවන අරගලය ගැන මා නම් සංවේදීය.

නැවත නීතිය ගැන කියන්නේ නම් මත් ද්‍රව්‍ය මිළ දී ගැනීම පිරිමින්ට හොදයි, ගෑහැණුන්ට හොද නෑ කියන එක පුරුෂෝත්තම අදහසක් හැගෙනවාය. දියුණු සමාජවල පිරිමියාට ඇති අයිතිය, ගෑහැණුන්ටත් තහවුරු කොට ඇත. නමුත් අරාබිය, ඇතැම් ආර්ථික වශයෙන් බලවත් නොවන රටවල සමානාත්මතාවය ලිංගික බේද අනුව තහවුරු කොට නැත. මෙයට ආගමික බලපෑම, අඩු අධ්‍යාපනය වගේ සාධක අඩු වැඩි වශයෙන් බලපායි.

ලංකාවේ ස්ත්‍රීන්ගෙන් කැපී පෙනෙන ප්‍රමාණයක් මත් ද්‍රව්‍ය භාවිතා නොකරන්නෙත්, නමුත් කැපී පෙනෙන පිරිසක් මත් ද්‍රව්‍ය වෙළෙදාමෙහි නිරත වන්නේත් ඔය නීති ඇති නිසා හෝ නැති නිසා නොවේ. මිනිසුන්ගේ තෙරුම් ගැනීමේ ප්‍රමාණය , හැදෙන වැඩෙන පරිසරය, ආර්ථික අපහසුතා වැනි කාරණා විශේෂයෙන් බලපානු ඇත.

මට හිතෙන පරිදි මෙම නීති සංශෝදනයෙන් අදහස් වන්නේ කාන්තාවන් අතර මත් පැන් බීම ප්‍රචලිත් කිරීමට නොව, සම අයිතිය තහවුරු කිරීමයි. මෙහිදී අප විමසීමෙන් කටයුතු කළයුතුය. ඇතැම් පිරිමින් බීමත්ව බිරියට, දරුවන්ට තාඩන පීඩන කරන අවස්ථා මම කොතෙක් දැක ඇත්තෙමි. එවන් පවුල්වල දරුවන්ගේ සියලු බර කරට ගන්නේ අම්මාවරුන්ය. කාන්තාවන් ද මත් ද්‍රව්‍යවල ඇබ්බැහි වුණොත් බරපතල සමාජ පරිහානියක් වනු ඇත. නමුත් අපේ සංස්කෘතිය අනුව නීති ඇතැත්, නැතැත් කාන්තාවන්ගේ පෙළඹීම අඩු වනු ඇත.

බුදු දහමට අනුව නම් යහපත, අයහපත බලහත්කාරයෙන් හෝ නීතියකින් ක්‍රියාත්මක නොවේ. නරක හෝ යහපත් ප්‍රතිඵල දැක, අවබෝද කොටගෙන, අයහපත් නම් ඉන් වැළකීම බෞද්ධ විනය මාර්ගයයි.
එහෙයින් නීතිය සියලු දෙනාට සමාන වියයුතු අතර හොද හෝ නරක තීරණය කිරීම පුද්ගලයාගේ අයිතියකි.