Friday, October 13, 2017

ඇයි නිතරම මම පළමුවෙනියා?




බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය 

Image result for I am the first
මම තමයි හොදම කෙනා. මම තමයි දක්ෂයා. මට තමයි හොදම දේවල්, ලොකුම දේවල් තියෙන්නේ. මගේ තමයි වටිනාම දේවල්. මම, මට, මගේ බව හගවන එක මනුස්සගතියක්. නමුත් නිතරම කෙනෙක් තමන්ගෙම ලොකුකම, පුරාජේරුකම හෝ වෙනත් අය නිතරම ඉක්මවායන්න උත්සහ කරනවා නම් ඒ මානසික රෝගීතත්වයක්. මෙයින් මනුස්සයා දුකට, වේදනාවට, දොම්නසට පත් වේ. තමන්ගේ කාලය අපතේ යවයි. සමාජයේ උපහාසයට ලක්වේ. තමන්ගේ යහපත් ගුණයන් පිරිහේ.

අපි සරලව කල්පනා කරමු නිතරම තමන් කෙන්ද්‍රකරගත් කෙනෙක් පිළිබදව. එම කෙනා ආගමික ස්ථානයකට ගියත් තමන්ගේ නම කියවාගන්න කැමැතියි. අනෙක් අය ඉක්මවා කටයුතු කරන්න තරග කරයි. එසේ නොවුනහොත් දුකට දොම්නසට පත් වේ. තමන් කළයුතු දේ ගැන නොසිතයි. කාලය අපතේ යවයි. අනුන්ගේ ගුණයක්, හොදක් නොදකියි. තරගකාරීත්වය නිසා කරුණා, මුදිතා හෙවත් අනුන්ගේ යහපත් දැක සතුටුවීම ආදී ගුණයන් පිරිහීයයි.

තමන් දුකට පත්කරවන, නරක ගති ඇතිකරවන, තමන්ගේ කාලය අපතේ යවන විපරීත මානසිකත්වයක් ඇතිවීමට හේතු කිහිපයක් බලපායි. දෙමාපියන් නිතර දරුවන් තම සිතැගි අනුව පාලනය කරත් නම් දරුවාගේ පෞරුෂය ගොඩනැගෙන්නේ හීනමාන සහ අධිමානය සමගය. ඇතැම් අම්මලා, තාත්තලා දරුවන්ට අනෙක් ළමයින් පරදා ඉදිරියට යායුතුබව නිතර හගවති. එවැනි ක්‍රියාකාරකම් අගයති. ජයග්‍රහනවලදී අගේ කිරීමත්, පසුබසින විට වරද පැටවීමත් දැකිය හැකිය. මෙය දරුවාගේ අඩු පෞරුෂයක් ඇතිවීමට බලපායි

එවැනි අය වැඩිවියට පත්වීමේදී අනෙක් අය සමග එකට කටයුතු කිරීමට නොහැක. නිතර අනෙකාට වඩා පළමු තැන අපේක්ෂා කරති. මෙම තත්වයන් ඇතැම් අයගේ ප්‍රකාශයන්ගෙන් දැකිය හැකිය. තමන් වැඩ කරන තැන ප්‍රධානියා නැතිනම් දෙවෙනියා යයි අනෙක් අයට හගවති. එසේ නැතිනම් ආයතන ප්‍රධානියාගේ හොදම , හිත් දිනාගත් කෙනා ලෙස පෙන්වයි. මෙම මානසික තත්වය හැදෙන්නේ කුඩා කාලයේ දෙමාපියන්ගේ පාලනය යටතේ ඔවුන් සතුටු කිරීමට තැත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.

දක්ෂතාවයන් අඩු මිනිසුන් කිසියම් දෙයක දක්ෂ ලෙස නි‍යැලෙන මිනිසුන් පහත් කොට කතාකිරීමේ බාල, පහත් පුරුද්දක් ඇත. ඔවුන් වෙනත් අයගේ දක්ෂතා හෝ ධනාත්මක දේවල් දැක අගේ කිරීම හෙවත් මුදිතා ගුණය වෙනුවට අනෙක් අයගේ දියුණුව හෝ හැකියාව පහත් කරති. අපහාසයට, උපහාසයට ලක් කරති. උදා හරණක් නම්: කෙනෙකු ඉංග්‍රීසි ටිකක් මහන්සියෙන් ඉගෙන, භාවිතා කරත් නම් තවත් කෙනෙකුට ඉර්ෂියාවක් ඇති වේ. තමන් ඉංග්‍රීසි දන්නා පුද්ගලයා මෙන් අනෙකා වැරැදියට කථාකරන බව කියයි. මෙයට හේතුව තමන්ගේ නොහැකියාව වසාගැනීමත්, අනුන්ට ඉර්ෂියා කිරීමත්ය.

මානය නම් අකුසල් මානසිකත්වයද "මම පළමුවෙනියා" ලෙස සැලකීමට බලපායි. තමන්ගේ තනතුරු නිතර භාවිතා කිරීම, තනතුරු හඹායෑම එම රෝගයේ ලක්ෂණයි

"මම නිතරම පළමුවෙනියා" රෝගයෙන් පෙළෙන කෙනාට සිදුවන බරපතල හානිය නම්: තමන්ගේ දක්ෂතාවයන් හදුනාගෙන ඒවා දියුණු කරගැනීමට නොසිතයි. අනුන්ට ඊර්ෂියා කරමින්, අපහාස කරමින් කාලය ගෙවයි. මීට වඩා අවසනාවන්ත දුක්ඛිත තත්වයක් තවත් ඇතිද?

තමන්ගේ දක්ෂතාවයන් දියුණු කරනොගත් අය ස්වාත්ම ඵලසාධනය (self actualization)හෙවත් දක්ෂතාවයන් හොදින් ප්‍රයෝජනයට නොගත්තායයි ජිවිත අවසානයේදී පසු තැවෙති. තමාට තමා කෙරෙහි ආදරයක්, කරුණාවක් ඇති නොකර ගනියි. තමා තමන්ටම වෛර කරයි.

එහෙයින් මේ ගැන බරපතල ලෙස සිතා "මම නිතරම පළමුවෙනියා" වෙනුවට තම දක්ෂතාවයන් හදුනාගෙන කටයුතු කිරිම තමන්ගේ සහ අනුන්ගේ යහපත පිණිස හේතුවනු ඇත. සෑම දෙයම ඇති වී නැතිවී යන අනිත්‍ය ධර්මයට යටත් අපගේ ලෝකයේ ස්ථීර වශයෙන් මම, මට, මගේ ලෙස උපාදානය හෙවත් තදින් අල්ලාගෙන දුක් විදින්න තරම් දෙයක් නැත. කරුණාව, මුදිතාව ආදී ගුණයන් සහිත සැහැල්ලු ජීවිතයම සතුට කැන්දයි.

Tuesday, July 18, 2017

"සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා"යයි පටන්ගන්නා දහමක් ඇති රටක මානසික අසමතුලිතතා කියන්න බියවන්නේ ඇයි?



"සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා"යන දහම් පාඨයෙන් සියලු සාමාන්‍ය මිනිසුන් කිසියම් හෝ මානසික අසහනයකින්, ආතතියකින් හෝ වෙනත් අසමතුලිතතාවයෙන් පෙළෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේ දේශනා කළේ විවිධ මානසික තත්වයන් මිනිසුන් වන අපට ඇතිවන බව තේරුම්ගෙන ජීවත්වීමටය. නමුත් ඓතිහාසික බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියනවායයි කියන සමාජයක තමන්ට ඇති මානසික ආතතිය හෝ වෙනත් මානසික වියවුල් ප්‍රකාශකිරීමට මැලිවෙති. මානසික ආබාධිතයන් පහත් කොට සලකති.
ඇයි අපේ සමාජය මෙවැනි පසුගාමී අදහස් තවදුරටත් දරන්නේ? මෛත්‍රී භාවනාව පටන්ගන්නෙම තමන්ට ආදරය, සෙනෙහස, කරුණාව දක්මින්ය. ඉන්පසු අනෙකුත් සත්වයන්ට එම හැගීම් ඇතිකරගනිති.

පහත වීඩියෝව තමන් මුහුණපාන මානසික පිඩනය ප්‍රකාශ කිරීමේ වැදගත්කම, මානසික විකිත්සාවේ ප්‍රයෝජනය අපට පෙන්වයි. විනාඩි කිහිපයක් වැයකොට එය අසන්න. පහත දාතමය ඔබා වීඩියෝව නරඹන්න.
 

Saturday, July 15, 2017

තරුණ අපි බෙහෝ කෙනෙක් යහපත් ආකල්පවලින් දියුණුයි

මෙම වීඩියෝව සමස්ත තරුණයන්ගේ ස්වභාවය ප්‍රතිරාවය නොවුණත්, බොහෝ තරුණයන්ගේ

 යහපත් ආකල්ප පෙන්වයි. ජාතිකවාදී, ආගම්වාදී මානසික ව්‍යාධිවලින් 

පෙළෙන්නන් අතර එසේ නොවන මිනිසුන් වැඩිය. 

පහත දාතමය ඔබා වීඩියෝව නරඹන්න

Friday, July 7, 2017

ලෝකය පැරැණි දර්ශනයට හැරේ…


මිImage result for antike philosophie

බටුවංගල සමිද්ධි හිමි

දර්ශනය අවශ්‍ය මිනිසා මුහුණපාන අප්‍රසන්න තත්වයෙන් මිදී වඩාත් හොද ප්‍රසන්න තත්වයක් ඇතිකරගැනීමටය. ඉතිහාසය පුරාවටම දේශපාලන,ආර්ථික, අධ්‍යාත්මික දර්ශනයන් මිනිසා සිටින තත්වයෙන් උසස් කිරීමට උපකාරී වී ඇත. විශේෂයෙන් අධ්‍යාත්මික දර්ශනය මෙහිදී වැදගත්ය.ෂඩ් ශස්තෘවරුන්, බුදුන් වහන්සේ, කොන්ෆුයුසියස්, සොක්‍රටීස්, ඩිමොක්ට්‍රිස් ප්ලේටො,සෙනෙකා ආදී තවත් බොහෝ පැරැණි දාර්ශනිකයන් විසින් හදුන්වාදෙන ලද අධ්‍යාත්මික දර්ශනය මිනිසා මත පැවරී ඇති සහ පවරාගන්නා ලද පීඩනයන්ගෙන් මිදී සිහිය, සැනසුම, සතුට ඇතිකරන ක්‍රියාමාර්ග පෙන්වයි.

එහිදී බුදු රජාණන් වහන්සේගේ දර්ශනය හෙවත් ධර්මය සහ භාවිතාවන් ජීවන දර්ශනයක් ලෙස අධ්‍යාත්මික සුවය ලබාදෙන බවට ලෝකයා අතර ප්‍රසාදයක් ඇත. මෙහිදී සිහි කැදවිය යුතු කරුණක් ඇත. ලෝකයාගේ ප්‍රාසාදය බෞද්ධාගමික පූජක හෝ දේශපාලන සංවිධානවලට නැත. එවැනි සංවිධාන නිතර බුදු රජාණන් වහන්සේගේ ධර්මයට යටත්ව කටයුතු නොකරති. ඔවුන් සමාජ නිදහසට බධාවක් බව ඇතැම්හුගේ අදහසයි. නමුත් බුදු දහම සහ එහි අධ්‍යාත්මික භාවිතාව ජාති, ආගම්, භාෂා භේදයන්ගෙන් තොරව සියලුදෙනාට සුවය සලසයි.

පසුගිය සියවස අධ්‍යාත්මික දර්ශනය ගැන සුවිශේෂ අවස්ථා සනිටුහන් කළ හැකිය. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආගම් පිළිබද පැරණි විශ්වාස බිදවැටීම, මනෝ විද්‍යාව සහ වෙනත් අධ්‍යාත්මික අභ්‍යාසයන් ප්‍රචලිතවීම ඉන් සමහරකි

 අද වන විට දැකිය හැකි සුවිශේෂ ප්‍රවණතාවයක් වන්නේ මුලින් සදහන් කරන ලද පැරැණි දාර්ශනිකයන් ආත්ම සුවය පිණිස දේශනා කරන ලද දර්ශනයන් සහ අධ්‍යාත්මික භාවිතාවන් කෙරෙහි අවධානය යොමු කිරීමයි. ඒවා අධිකාරීබලය සහිත ආගමකට හෝ සංවිධානයකට අයත් නොවීමත්, සමාජයේ තිබෙන විවිධ භේදයන්ගෙන් තොරව, ආගමික හෝ වෙනත් ගැටුමකින් තොරව භාවිතා කිරීමට හැකිය.

Thursday, June 8, 2017

බුදු දහම විසිරෙයි, පැතිරෙයි





ලෝකයේ විශාලතම ජනගහනයක් අදහන සතර වන ආගම බුද්ධාගමයි. එය ආගමක් පමණක් නොව ජීවන දර්ශනයක්, අධ්‍යාත්මික භාවිතාවක් ලෙස ලෝක ප්‍රජාවගේ ගෞරවයට පත්ව ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් අංශ තුනක් හදුනාගනිමි.  

 1) ආගම 
 2) ජීවන දර්ශනය                                           
3) අධ්‍යාත්මික භාවිතාව 

බුදු දහමේ පැතිරීමට ඉහත අංශ ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. තව හේතුද තිබිය හැකිය.

බුදු රජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම නම් දුක නැති කොට, සුවපත්වීමයි. ඒ සදහා මනුස්සයාට ස්වශක්තිය තිබෙන බව බෞද්ධ ඉගැන්වීමයි. සුවපත්වීමෙ අභ්‍යාස ක්‍රමයක් ඇත. එම අභ්‍යාස පැරැණි ආගමික සම්ප්‍රදායන්ගෙන් ලබාගත් දේවල්ය. නමුත් එවාට නව අර්ථකතන ලබාදුන්හ. නිදසුනක් ලෙස භාවනාව ගනිමු. භාවනාව යනු ප්‍රධාන බෞද්ධ අභ්‍යාසයකි. එය පැරැණි ආගමික භාවිතාවකි. බෞද්ධ භාවනාව වර්ධනය වන්නේ එම පැරැණි ආගමික භාවිතාවෙනි.

බුදු දහමේ විශේෂත්වය නම් ආගමික භාවිතාවන් මගින් අධ්‍යාත්මික සුව අත්පත් කරගැනීමයි. ආගමික ස්වරූපී භාවිතාවන් මගින් අභ්‍යන්තරික දර්ශනය හෙවත් ධර්මය සොයාගැනීම අරමුණ කොට පවතී. පැරැණි ආගමික භාවිතාවන් භාවිතා කළමුත්, එය හුදු සම්ප්‍රදායික ආගමක් නොවේ. නමුත් අද දවස වනවිට එය ආගමක් ලෙස වඩාත් ප්‍රචලිතය.

බොහෝ සාම්ප්‍රදායික බෞද්ධයන්ට බුදු රජාණන් වහන්සේ දෙවි කෙනෙකු බදුය. නමුත් උන්වහන්සේම දේවත්වයන්, අධිමානුෂිකබලයන් තමන් නියෝජනය නොකරන බව දෙසූහ. බෞද්ධයන්ට බුදුන් වහන්සේ උත්තරීතරය. මෙම අගමික ස්වරූපය සම්ප්‍රදායන් තුනක් මත ප්‍රධාන වශයෙන් ගොඩනැගී ඇත. 1) ථේරවාද සම්ප්‍රදාය: ලංකාව,තායිලන්තය, බුරුමය ආදී රටවල පවතින පැරණි සම්ප්‍රදාය 2) මහායාන සම්ප්‍රදාය: තායිවානය, චීනය, ජපානය ආදී රටවල පවතින සම්ප්‍රදාය. 3) වජ්‍රයාන සම්ප්‍රදාය: ටිබෙටය, බූතානය ආදී රටවල බහුලව පවතී. දලයිලාමා එහි අධ්‍යාත්මික නායකයාය. බෞද්ධාගමේ ලෝක පැතිරීම මෙම සම්ප්‍රදායන් තුන මත පදනම් වේ.

බෞද්ධාගම රටෙන් රටට වෙනස්ය. කිතුනු හෝ මුස්ලිම් ආගම ලොකයේ මොනරටක පැවිතියත් සමාන සංස්කෘතියක් ඇත. නමුත් බෞද්ධ සංස්කෘතිය ඉතාම විවිධත්වයක් ගනියි. නිදසුනක් ලෙස තායිලන්තය සහ ලංකාව ථේරවාදී සම්ප්‍රදායට හිමිකම්කීවද දෙරටේ සංස්කෘතිය වෙනස්ය. ලංකාවේ ථේරවාදී සම්ප්‍රදාය පැවතියත් ආරණ්‍ය සහ පන්සල ආදී වෙනස් සංස්කෘතික කුලයන් පවතී. පන්සල්ද පන්සලෙන් පන්සලට වෙනස් ක්‍රමයන් අනුගමනය කරයි. බෞද්ධාගම රටක හෝ සමාජයක පවතින සංස්කෘතිය සමග අනන්‍යවීම හෙවත් මුහුවීම (hybrid)දක්නට ලැබෙන විශේෂ ගුණයකි. මේ නිසාම යුධ ගැටුම්වලින් තොරව බෞද්ධාගම පැතිරී ඇත.

සෑම සම්ප්‍රදායකම බුදු දහම සමානය. මෛත්‍රිය,කරුණාව සහ ප්‍රඥාව යන මූලයන් මත රදාපවතින තරමට බුදු දහම ආරක්ෂා කෙරේ. සෑම සම්ප්‍රදායකම අධ්‍යාත්මික භාවිතාවන්ද පවතී. එමෙන්ම ඒ ඒ රටවලට ආවේනික ආගමික ස්වරූපයක්ද ඇත. ඇතැම්විට අධ්‍යාත්මික හරය නැතිව හුදු ආගමික විශ්වාස මත පමණක් පදනම් වන යාතුකර්ම පවතී. නමුත් බෞද්ධයන්ගේ පරම යුතුකම නම් අධ්‍යාත්මික සුවය ඇතිකරගැනීමට බුදු දහම භාවිතා කිරීමය.

ප්‍රයෝගික බෞද්ධ ක්‍රමවේදය වන්නේ හේතු සහ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමය. මනසේ නැගෙන සිතුවිලි , අදහස්, අභිලාෂයන් නිරීක්ෂණය කොට යහපත් ප්‍රතිඵල ගෙනදෙන සිතුවිලි, අදහස් ක්‍රියාත්මක කිරීම සදාචාරාත්මක පෙළඹවීමයි. තමන්ට පීඩනය, දොම්නස ගෙනදෙන කතාවලින් සහ මතකයන්ගෙන් නිදහස්වීම, සෑම දෙයෙහිම පවතින වෙනස්වීම අවබෝද කරගැනීම සන්තානගත දුක නැති කිරීමය. මේ සදහා යහපත් සිහිය සෑම මොහොතකම, අවස්ථාවකම පුහුණු කළ යුතුය. ඒ සදහා භාවනාව සහ වෙනත් බොහෝ අභ්‍යාස ඇත.
ඇමෙරිකාව, යුරෝපය සහ වෙනත් බෞද්ධ සංස්කෘතීන් නොමැති කළාපවල බුදු දහම ගැන සැකකිලිවන්නේ ඉහත සදහන් නිදහස් දර්ශනය සහ අධ්‍යාත්මික භාවිතාවන් නිසාය. බුදු දහම ගැන විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් ඉහත කළාපවල පසුගිය දසක තුනක කාලය තුළ ලියවී ඇත. ඒවා ඉහළ පර්යේෂණ මට්ටමක පවතී. ඒ ඒ රටවල බෞද්ධ කණ්ඩායම් ගොඩනැගී ඇත. ඔවුන් බොහෝ දුරට මුල් බුදු දහම සහ භාවිතාවන් ගැන සැලකිලිමත් වේ.

මෙහිදී සාම්ප්‍රදායික බෞද්ධයන් වන අප සැලකිලිමත් වියයුතු කරුණ නම් අධ්‍යාත්මික අභ්‍යාසයන්වල නිරතවෙමින් අපගේ දුක නැති කරගැනීමත්, අපට ලැබුණු දායාදයක් ලෙස සලකා හරයට මූලිකත්වයදීමය. නැතිනම් අපද හුදු ආගමික කොටසක් බවට පත්වෙනු ඇත. වෙනත් ආගම්, වර්ග, ජාතීන් ගැන වෛරයෙන් තොරව, නිතරම තමන්ගේ සුවපත්වීම ගැන සැලකිල්ලෙන් බෞද්ධ භාවනාව වැනි තවත් අභ්‍යාසවල නිරතවීමය.

බෞද්ධාගමේ පිබිදීම, බැබලීම, පැතිරීම තීරණය කරණුයේ එහි ඇති අධ්‍යාත්මික දර්ශනය සහ භාවිතාවේ තරමටය. බුදු දහම විද්‍යාවෙන්, තාක්ෂණයෙන් සහ ආකල්පවලින් දියුණු සමාජවල භාවිතා වන්නේ හුදු ආගමික යාතු කර්ම ලෙස නොවේ. බුදු රජාණන් වහන්සේ දේශනා කළ මුල් ඉගැන්වීම් සහ අධ්‍යාත්මික භාවිතාවන් පුහුණු කිරීමෙනි.

බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය

Monday, May 15, 2017

ධර්මයෙන් සතුට සෙවීම


 
බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය



මිනිසා සතුටට කැමතියි. සතුට සොයයි. මිනිසා සතු අභියෝගය වන්නේ සතුට දීර්ඝකාලීනව හෝ නිතර පවත්වාගනීමයි. සතුට ඇතිකරගැනීමටත්, පවත්වාගැනීමටත් මිනිසා නොනවතින අරගලක නිරතවෙයි. සතුට එක අංශයකින් පමණක් ඇති නොවන්නකි. එය බොහෝ අංග මත පදනම් වන්නකි.

පවුල් ජීවිතයේදී ස්වාමිපුරුෂයා, බිරිද, දූදරුවන්, දෙමාපිය, සහෝදර ආදී සම්බන්ධතා මගින් තෘප්තිය ඇති වේ. සමාජ ජිවිතයේදී මිත්‍රයන්, දන්නා හදුනන අය, පිදියයුතු පිරිස් ආදීන් සමග පවත්වන මිත්‍රශීලීත්වය සතුට ඇතිකරවන්නකි. ප්‍රයෝජනවත් දේ ඇසීම, කියවීම, දැනගැනීම සහ සාකච්ඡා කිරීම දැනගැනීම මගින් සතුට ඇතිකරවයි. තමන්ට සහ අනුන්ට ප්‍රයෝජනවත් දෙයෙහි නිරතවීමෙන් සැහීමට පත්වීමෙන් සතුට ඇති වේ.

සතුට යන්න බොහෝ දෙනෙක් හදුනාගන්නේ පොහොසත්විම යනුවෙනි. තමන්ගේ පැවැත්ම පහසුකරගැනීමට මූලික අවශ්‍යතා සපුරාගැනීම ප්‍රයෝජනවත්ය. නමුත් අප සතු වත් පොහොසත් කම් පමණක් සැබෑ සතුට ඇති නොකරයි. දුක යන්න දුප්පත්, පොහොසත් මායිම් නොකොට පවතින්නකි.

සතුට ඇතිකරගැනීම මනස මුලික පවතී. එය යහපත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් සහ නිවැරදි තෙරුම්ගැනීමක ප්‍රතිඵලයකි. යහපත් ක්‍රියා සහ සිතුවිලි යනු ධර්මයයි. ධර්මය යනු යහපත් ක්‍රියා සහ සිතුවිලියි. බෞද්ධ යන වචනයේ අර්ථයම අවබෝදය යන්නයි. අවබෝදයෙන් තොරව යහපත් ක්‍රියා සහ සිතුවිලි නොපවතී.

මෙහි බෞද්ධ යනු එක්තරා ආගමික ප්‍රජාවක් හෝ සමාජ කොටසක් නොවේ. නැතිනම් එක රටක පමණක් ජීවත්වන පිරිසක් නොවේ. ඕනෑම රටක, ඔනෑම ආගමකට හෝ දේශපාලන සංවිධානයකට හෝ වර්ගයකට අයත් මිනිසුන් යහපත් ක්‍රියා සහ සිතුවිලි ඇතිනම් ඔවුන් බෞද්ධයෝය.

මෙම යහපත් ආකල්පය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බ්‍රහ්මණයෙකු වේවා, දෙවියෙකු වේවා, ශාක්‍යයෙක් වේවා හෝ වෙනත් කෙනෙකු වේවා ධර්මය දකීනම් ඔහු හෝ ඇය දුක නැති කරයි. ඔහු හෝ ඇය පරම සතුට හෙවත් නිවන අත්විදියි යනුවෙනි. ධර්මය දැකීම යනු ධර්මය සොයාගැනීමයි. ධර්මය සොයාගැනීම ජාති ආගම් භේදයෙන් තොරව මිනිසා සතු ප්‍රබල සහ ප්‍රයෝජනවත් හැකියාවකි. මෙම හැකියාව තිව්‍රරකරගන්නා තරමට ජීවිතයේ දුක තුරන් වේ.

ධර්මය සෙවීමේ අරමුණ දුක නැතිකිරීමය. මෙම ප්‍රධාන අරමුණ බොහෝ දෙනෙක් අමතක කරති. අපාය, දිව්‍යලෝකය වැනි ආගමික විශ්වාස දරන අය යහපත සහ අයහපත හදුනාගැනීමට අපොහොසත්ය. ඔවුන් ක්‍රියාව වෙනස් නොකොට ඒවා පිළිබද පමණක් විශ්වාස කරති. අපි ධර්මය සෙවිය යුතු වන්නේ අපාය දිව්‍යලෝකය නිසා නොව දුක නැතිකොට සතුට ඇති කරගැනීමටය. අපායට දිව්‍යලොකවලට ඇති භය සහ අශාවද නැවත දුකම ඇති කරයි.

ධර්මය සෙවීමේ අරමුණ දුක නැතිකොට සතුට ඇති කරගැනීමයි. ඉහත සදහන් කළ සමාජ සම්බන්දතා මගින් සහ යහපත මූලික කරගත් ක්‍රියාවෝ නිතර සතුට ඇතිකරවයි. ඉතා සියුම් යහපත් ක්‍රියාවෝ පවා සතුට ඇතිකරයි. සිතෙහි කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගෙන සතෙකුට කෑම ටිකක් වතුර පොදක් දීමෙන් පවා සතුට ඇති වේ.

තවත් කෙනෙකුගේ යහපත දැක සතුටට පත්වන්නේ නම් එය මුදිතාවයි. ධර්මය සොයාගැනීමකි. සතුට ඇතිකරවයි. මා දන්නා හාමුදුරුවන් වහන්සේ නමක් කතාකරන බෝහෝ අවස්ථාවල වෙනත් අයගේ යහපත් දේ ගැනම කියයි. උන්වහන්සේ එසේ කියන්නේ අවංකවම බව හැගෙයි. අනුන්ගේ නුගුණ, ඔපාදූප නොකියයි. එය ගුණයකි. සතුට ඇතිකරවන්නකි.

මා පාරිසරික වැඩසටහන් කරන විට නිතර අත්විදින කරුණක් නම් පැළයක් සිටුවීමෙන් කෙනෙකු අනන්ත සතුටක් විදින බවයි. දුෂ්කර පළාත්වල වැඩසටහන් කරන විට ඇතැම්විට ප්‍රමාණවත් ආහාර නැත. නමුත් ඒ බව කිසිදිනක දැනී නැත. යහපත් ක්‍රියාව සමග සිත සතුටට තෘප්තියට පත් වේ. ගහක් කොළක් සිටුවීම වැනි සරල ක්‍රියා වකින් පවා අපමණ සතුටක් ඇති වේ. එය කුසලයි. ධර්මය සෙවීමකි.

තවත් කෙනෙකු වෙනුවෙන් කාලය ගත කිරීම මහත් අත්වැසිල්ලකි. කෙනෙකුගේ දුක හෝ සතුට අසා දුක තුනීකිරීමට වචනයෙන් හෝ අස්වැසිල්ලක් විය හැකිය. කෙනෙකුගේ දියුණුව දැක සතුටුවීම කුසලයකි. ඇතැම්විට විපතකදී කෙනෙකුගේ හදවත උණුසුම්ව උපකාර කළද, කෙනෙකුගේ දියුණුව දැක සතුට ඇතිකරගැනීම දුෂ්කරය. අපගේ උසස්ම අධ්‍යාත්මික දියුණුව සැප සහ දුක යන දෙකේදීම කෙනෙකු සමග සම සිතින් කටයුතු කිරීමය.

සතුට ඇතිකරගැනීමට ඉතා සුළු ක්‍රියාවෝ ප්‍රමාණවත්ය. මෙම කරුණ මැනවින් තහවුරු කරන ධර්මයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි උපමාවකින් දෙසූහ. ජල බිංදුව බිංදුව එකතු වී කලය පිරෙන්නාක් මෙන් කුඩා කුඩා යහපත් ක්‍රියාවන්ගෙන් ජීවිතය පිරෙන්නේය. ධර්මය සෙවීමද ඉතා සරල විය යුතුය. තමන්ට කළ නොහැකි දේ නොව එදිනෙදා ජීවිතයෙ සෑම අවස්ථාවකම යහපත් මානසිකත්වයකින් වැඩදායක හැසිරීම වැදගත්ම කොටසයි.

Monday, May 8, 2017

බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සොයාගැනීම


බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය


සිද්ධාර්ථ ගෞතමයාණෝ සුවිශේෂ ප්‍රර්යේෂණයකට මුලපිරීහ​. එනම් දුක නැති කරගන්නේ කෙසේද යන්නයි. මේය මානව ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි ආත්මවිශ්වාසයෙන් දෛනික ජීවිතය දුකෙන් මුදවා සැනසීම ඇතිකරගැනීමේ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ අනුදත් මගයි. උන්වහන්සේගේ සොයාගැනීම දුක නැතිකරගැනීමයි. මෙය ධර්මය ලෙස ප්‍රචලිතය.

ධර්මය යනු බුදු රජාණන් වහන්සේගේ මැවීමක් නොවේ. එය උන්වහන්සේගේ උත්සාහයේ හෙවත් කළ පර්යේෂණයේ ප්‍රතිඵලයකි. ධර්මය සැම කල්හිම පවතී. නමුත් මිනිසුන් භාවිතයට නොගන්නා නිසා සහ ධර්මය සහ අධර්මය වෙන්කරගැනීමේ නොහැකියාව නිසා ධර්මය මිනිස් මනසෙන් අමතක වේ. අමතකවගිය දහම සොයාගැනීම බුදුවරයෙකුගේ උත්සාහයේ ප්‍රතිඵලයයි.

ධර්මය සොයාගැනීමේ හැකියාව සැම මිනිසෙකු සතුය.මෙම හැකියාව මිනිසා උසස් මනසක් ඇත්තෙකු කරවයි. ධර්මය පිටස්තර බලවේගයකින් ලැබෙන්නක් නොවේ. එය උත්සාහයෙන් ඇතිකරගත යුත්තකි. එය අවබෝධය මගින් ඇතිකරගැනීමකි. බුද්ධ යන වචනයේ අර්ථය අවබෝධයෙන් අවදිවීම යන්නයි. ධර්මය අවබෝධකරගන්නා තරමට දුක අවම වේ. දුක අවම ජීවිතය ප්‍රසන්නය.

ප්‍රසන්න ජිවිතයක මූලික කරුණු දෙකක් ප්‍රදර්ශනය වේ.

1) යහපතින් නැවුම්වීම


2) යථාවබෝධයෙන් ජීවත්වීම

1) ජීවිත්ය යහපතින් නැවුම්කරගැනීමට යහපත් සිහිය අත්‍යවශ්‍ය සාධකයකි. එදිනෙදා ජීවිතයේදී විවිධ දුෂ්කරතා සහ සුවදායී අවස්ථා හමුවේ. ඒ සැම අවස්ථාවකදී මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපෙක්ෂාව උපදවාගැනීමේ සිහිය යහපත් සිහියයි. මෙය සතර බ්‍රහ්ම විහරණ ලෙස නම් කෙරේ. නිතර වාසය කළ යුතු හෙවත් සිහිය පැවැත්විය යුතු කරුණු සතරකි. එය පියවර කිහිපයකින් පුහුණු කළ හැකි ධර්මයකි.

පළමු පියවරේදී මෛත්‍රිය, කරුණාව,මුදිතාව සහ උපෙක්ෂාව තමන් කෙරෙහි උපදවාගතයුතුය. ඇතිවෙන කෙන්තිය, තරහව, වෛරය, ඊර්ෂියාව, හැගීම්බර බව, ආවේගය ආදී ලාමක මානසික තත්වයන් තමන් විසින් තමන් දුකට පත්කරවයි. එය හදුනාගෙන ඉන් මිදෙන තරමට සැනසීම ඇතිවේ. නැතිනම් දුක නැති වී සැනසුම ඇති වේ.

දෙවන පියවර නම් බ්‍රහ්ම විහරණ තමන්ගේ පවුලේ අය, මිත්‍රයන්, හිතවතුන් කෙරෙහි උපදාවාලීමයි. තමන්ගෙන් ඔවුන්ටද, ඔවුන්ගෙන් තමන්ටද සිදුවියහැකි මිනිස් දුර්වලතා ගැන සංවේදිවීම සහ සමාවදීම, අමතක කරදැමීම ආදී කුසලතා ඇතිකරගැනීම සතුට ඇති කරවයි. තෙවන පියවරේදී සියලු දෙනාගේ යහපත පිණිස තම ක්‍රියා වැඩිකළ හැකිය.මේ සැම අවස්ථාවකදීම මිනිස් ගුණාංග දියුණු වේ. මිනිස් ගුණාංග දියුණුවන තරමට සන්තානගත දුක අවම වේ. යහපතින් ජීවිතය නැවුම් වේ.

2) යථාවබෝධය ලැබීම අධ්‍යාත්මික ජීවිතයේ වැදගත්ම කොටසකි. මිනිසා ඉදිරියේ ඇති අප්‍රිය අභියෝගයක් වන්නේ ලෙඩවීම, වයසට යැම, මරණයට පත්වීම සහ වෙනත් වෙනස්වන තත්වයන්ට මුහුණපැමයි.

මෙහිදී මානසික ඒකාග්‍රතාවය රැකගැනීමට නම් සියලු සංස්කාර හෙවත් සියලු දෙයෙහි යථාස්වරූපය තෙරුම්ගත යුතුය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීම පුරුදු කළ යුත්තේ මානසික වියවුල නැතිකර අභ්‍යන්තරික සාමය පවත්වාගැනීමටය.
මෙම දහම සොයාගැනීම පුද්ගලයා සතු පුද්ගලික කාර්යයකි. කිසිකෙනෙකුට එය ලබාදීමට නොහැකිය. තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. නිතර තම ක්‍රියාව සහ ක්‍රියාවේ ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීම ප්‍රායෝගික භාවිතයයි. අප්‍රසන්න තත්වයන් ඇතිවීමට අප්‍රසන්න හේතු මුල්වේ. එම හේතු වෙනස් කිරීමෙන් අප්‍රසන්න තත්වයන් මගහරවා ගතහැකිය. ප්‍රසන්න තත්වයන් ඇතිවීමට ප්‍රසන්න හේතුකාරක ප්‍රධාන වේ. ප්‍රසන්න හේතුකාරක පවත්වාගැනීමට සිහිය අවශ්‍යය.

මනසේ ප්‍රසන්න බව ආරක්ෂා කරගැනීමට සිහිය පැවැත්වීමෙන් විවිධ යහපත් ගුණාංග දියුණු වේ. මනා අවබෝධයෙන් ජීවත්වීමේ අභ්‍යන්තරික කුසලතාවය තියුණු වේ. මෙම ක්‍රියාවලියේදී මනස විවිධ අන්දමින් වෙනස් වන බව මුල් බුදු දහමෙන් පෙන්වා දෙන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් වශයෙනි.

විශේෂත්වය නම් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අරහත් වැනි තත්වයන්ට පත්වීමට නොව දුක නැතිකරගැනීමටය. දුක නැතිකිරීමට ධර්මය තමන් තුළින් සොයා ගන්නා තරමට අනාගාමී සහ අරහත්වැනි විවිධ මානසික තත්යන්ට පත් වේ. වැදගත් වන්නේ දුක නිවීමට, සැනසුම ලැබීමට ධර්මය සොයාගැනීමය

Thursday, April 13, 2017

අපෙක්ෂාවෙන් නොව අවශ්‍යතාවයෙන් ජීවත්වෙමු




බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ 
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය


ථාලාභ සංතෘෂ්ටිය හෙවත් ලද දෙයින් සතුටුවීම ප්‍රයෝජනවත්, සැහැල්ලු දිවිපැවැත්මට අනුබල දෙන බෞද්ධ ඉගැන්වීමකි. ඉවසීම, අයථාක්‍රමවලින් ධනය ඉපැයීමෙන් වැළැකීම, තිබෙන දෙය මැනවින් කලමණාකරණය කිරීම ආදී ගුණාංග ආරක්ෂාකරවයි. අනෙක් අතට ඉහත ගුණාංග තවදුරටත් වර්ධනය කරයි. එමෙන්ම මෙම දහම ගැන වැරදි අදහස්ද ඇත. එනම් පොහොසත්වීමට දිරිනොගන්වන ඉගැන්වීමක් ලෙසය. මෙම ලිපියෙන් අපි නිවැරදිව ලද දෙයින් සතුටුවීම ගැන අවබෝද කරමු.


"සංතුට්ඨී පරමං ධනං" සතුට පරම ධනයයි. නමුත් ඇතැම් පුහු මිනිසුන් සිතන්නේ ධනය පරම සතුට බවයි. ධනය පරම සතුට නොවුනත් එයද ජීවිතයට සතුට, පහසුවෙන් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකසයි. එහෙයින් ධනය අවශ්‍යය. නමුත් අපි ධනය වෙනුවෙන් ජීවත්නොවෙමු. මුදල්, ගෙවල්,වාහන අපට අවශ්‍ය වන්නේ ජීවිතය පහසු කරගැනීමටය.

ධනය වෙනුවෙන් මුලු ජීවිතයම වන්දිගෙවන මිනිසුන් ඇත. ඔවුන් තමන්ගේ අවශ්‍යතා හදුනානොගනිති. ඒ වෙනුවට අපේක්ෂා රෑසක් හිසමත දරාගනිති. ජීවිතයට බර, කරදර රෑසක් නිර්මානය කරගනිති. තමන් මනසින් සැහැල්ලුවට පත් නොවේ.

අවශ්‍යතාවයන් වෙනුවට අපේක්ෂාවන් ඉහවහ යන්නේ තමන් අනුන් සමග සංසන්දනය කිරීම නිසාය. තමන්ගේ සහොදර, සහෝදරියන්, ඤාතීන් හෝ ගමේ අය, අසල්වැසියන් අදීන් සමග තමන්ට ඇති දේ සහ නැතිදේ සංසන්දනය කරයි. තමන්ට නැති දේ කෙසේ හෝ ලබගැනීමේ තරගකාරී මානසිකත්වය ඇති වේ. තමන්ට අවශ්‍ය නොවුනත්, ලොකුගෙයක් හැදීම, ප්‍රමාණවත් මුදල් නොවුනත් මිළ අධික වාහන සහ තව නොයකුත් දේ අපේක්ෂා කරයි.

ප්‍රයෝජනයක් නැති තරගකාරී මානසිකත්වය නිසා සිදුවන්නේ තමන්ගේ යහපත් ගුණයන් පිරිහීමයි. අනෙකාට ඊර්ෂියා කරයි. තියෙන කෙනාට වෛර කරයි. ණය කරුවෙක් බවට පත්වේ. ලීසිං කොම්පැනිවලට කොයිවේලාවේ හෝ දේපළ අයිති වේයයි බියෙන් යුත්ත වේ. තමන් තමන්ට ආදරය නොකරයි. වේලාවට අනුභව කිරීම, පහසුවෙන් නින්දනොයැම ආදී පීඩනයන් රැසක් තමන්ට තමන් විසින්ම ඇතිකර ගනියි. මිහිපිටම අපායක් නිර්මාණය කරගනියි.

ඇත්තටම බොහෝ මිනිසුන් කටයුතු කරන්නේ අවශ්‍යතාවයට නොව, අනුන්ට තමන්ගේ පුරාජේරුව පෙන්වීමටය. මෙය පහත් මානසික මට්ටමකි. අවිද්‍යාවෙන් අන්ද වූ අය එය නොදනියි. නිවස ඉදිරිපිට කර් එකක් ප්‍රදර්ශනය කිරීම වර්තමානයේ රැල්ලක් බවට පත්ව ඇත. කාර් එකක් බොහෝ අයට අවශ්‍ය නොවුනත් තිබෙන බව පෙන්වන්නේ සාමාජයෙන් නම්බුවක් බලාපොරොත්තුවෙනි. නමුත් සමාජයෙන් ලැබෙන විශේෂ නම්බුවක් නැත. අවසානයේ තිබෙන මුදල්වලින් නිකරුනේ ලීසිං ගෙවයි. අඩුමතරමෙන් ප්‍රමාණවත් පරිදි ආහාර හෝ වෙනත් අවශ්‍යතා නැතිව රෝගීන් බවට පත්වේ.

අපෙක්ෂා රැසක් ඇති පුද්ගලයා අයථාක්‍රම මගින්, අවිනීතියෙන් මුදල් ඉපැයීමට පෙළඹේ. සූදුව, සොරසල්ලි මුද්‍රණය, මංකොල්ලකැම් ආදී අපචාර ක්‍රියාවන්ගෙන් ජීවිතය විනාශ කර ගනියි. තමන්ගේ සුදුසුකම්, හැකියාවන් මගින් ධනය ඉපැයීම අමතක වේ. හැකියාවන් අවභාවිතා කරයි.තමන්ට ඇති සම්පත් නිවැරදිව භාවිතා කිරීම නොසලකා හරියි. ගෙදරදොර අනෙකුත් දේවල්වල පිළිවෙළක් නැත. නිවැරදි කළමනාකරණයක් නැත.

ලද දෙයින් සතුටුවීම යනු තමන්ට ඇති දේ මැනවින් හදුනාගෙන එයින් නිසියාකාරයෙන් ප්‍රයෝජන ගැනීමයි.හොදින් කළමණාකරණය කිරීමයි. ඉන්පසුව ඉදිරි පියවරගැන සැලසුම් කළහැකිය.එනම් ක්‍රමක්ක්‍රමයෙන් ඉදිරියටයැමයි. මෙහිදී ඉවසීම, උපක්‍රමශීලීබව අවශ්‍යය.

තම සන්තක දේ හොදින් භාවිතා කිරීමෙදී ඒ මත පදනම් වන නව අදහස් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළහැකිය. එය කිසියම් අවස්ථාවක බිදවැටෙන සුළුප්‍රමාණය අවමය. යම් පසුබමක් ඇති වුණත් මැනවින් මුල්බැසගත් පදනමක් ඇති බැවින් විනාශයට පත් නොවේ.
තමන් විසින් උපයාගත් දේයක් ඇතැයි යන සතුට "අත්ථි සුඛ" ඇති වේ. ණය නොවන බැවින් අණන සුඛය හෙවත් ණය නොවීමෙන් ලැබෙන ජිවිත සැනසුම ඇතිවේ. මේ සහනය ජීවිතයට ලබෙන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය පුහුණු කිරීමෙනි.