Thursday, December 8, 2016

වැරදි දෘෂ්ටිය අප අන්ධ කරවයි

Image result for lauf junge lauf


වැරදි දෘෂ්ටිය අප අන්ධ කරවයි. වෛරය, තරහව, කෝපය, පළිගැනීම ආදී අමානුෂීය දුර්ගුණයන් ඇති කරවයි. ආගම, ජාතිය, රට, ප්‍රදේශය, පවුල ආදී දෙයින් අන්ධවූවන් සියලු තැන්හි සිටිති. ඔවුන් වැරදි දෘෂ්ටි අල්ලාගෙන එයින් දුක් විදිති. ජාති, ආගම්වාදයෙන් අන්ධවූවන් ඔවුන් අන්තවාදීන් බව නොදනිති. ඔවුන් සිතන්නේ ඔවුන් සැබැ දේශප්‍රේමීන්, භක්තිමතුන් බවය. නොදැනුවත්වම තම රට, ජාතියේ, ආගමේ ගෞරවය කෙළෙසා දමන්නේ ඔවුන්මය. පුද්ගලයෙකුගේ හෝ රටක, ආගමක ගෞරවය රැකෙන්නේ එවා නියෝජනය කරන පිරිස දරණ දෘෂ්ටිවාදය සහ හැසිරීම කොතරම් සදාචාරාත්මකද? යන්න මතය.

මෙය ලිවීමට අදහස් කළේ මේ දිනවල ප්‍රචාරය වන සම්මාන රැසක් ලබාගත් සිනමා නිර්මානයක් වන "Lauf Junge lauf"වෙනුවෙනි. මෙහි සිංහල අර්ථය "දුවන්න කොල්ලා දුවන්න" යනුවෙන් පරිවර්තනය කළ හැකිය.

සෘලික් යනු සිව්පස් වයසැති (9) ජර්මනියේ උපන් යුදෙව් ළමයෙකි.ඔහුට සිය පවුලෙන් වෙන්වීමට සිදුවන්නේ නාසි දෘෂ්ටිවාදයෙන් අන්ධවූවන්ගෙන් ජීවිතය බෙරාගැනීමටය. පියා ඔහුට තරයේ කියා සිටින්නේ ඔහු යුදෙව්වෙකු බව අමතක කරන ලෙසය. මෙම කුඩා ළමයා ඉදිරියේදීම හමුදාව විසින් පියා වෙඩිතබා ඝාතනය කරන ලදි. නාසි අවදියේදී ජර්මානු හමුදාවෙන් පලායැමට දරණ දරුවෙකුගේ අරගලය සිනමා නිර්මානයෙන් දිගහැරේ. ළමයෙකු ලෙස ලබන කූර, කටුක අත්දැකීම් හැගීම් බරය. එය මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සානුකම්පිතවීමට උත්තේජනය කරවයි.

අන්තවාදී ජාති සහ ජාතිකවාදී අදහස් දරන්නෝ ළමයාට බත් පිඩක්, වතුර පොදක්දීමට මැළිවෙති. ප්‍රතික්ෂේප කරති. යහපත් දෘෂ්ටියෙන් හෙබි මිනිසුන් සානුකම්පිතව ඔහුට රැකවරණය ලබාදෙති. එක ජර්මානු කාන්තාවක මේ දරුවා කෙරෙහි දාරක ප්‍රේමයෙන් සත්කාර කරන්නීය. මානව සබදතා සී සී කඩ බිදුනු සමාජයක, යුදවාදී, වර්ගවාදී චින්තනයෙන් උම්මත්තක වූ සමාජයක ඇතැම් යහපත් මිනිසුන් ඊට එරෙහිව යෙදෙන්නේ නිහඩ විප්ලවයකය. නමුත් ජාතිවාදීන්ගේ, ආගම්වාදීන්ගේ ඉව තියුණුය. එවැනි මිනිසුන් කෙරෙහි මුදාහරින කූරත්වය අතිශයින්ම ප්‍රචණ්ඩය.නාසි හමුදාව ඇයගේ සියලු දේපළ කොල්ල කති. ගිනිබත් කරති. නමුත් ඇයගේ නිහඩ, මානුෂවාදී විප්ලවය ඉන් නතර ´නොකරන්නීය.

කුඩා සෘලික් තමන්ගේ අන්න්‍යතාවය සැගවීමට දරණ උත්සාහයද අතිශයින්ම සංවේගජනකය. යුදෙව් ළමයෙක් ලෙස හදුනාගතහොත් ඔහුට අත්පත්වන්නේ මරණයයි.  යුරෙක් ලෙස නම වෙනස් කරගන්නා ලෙස පියා කියාදුන් නමුදු එය ළමයෙකුට පහසු නැත. අනෙක් අතට ආගමික අන්න්‍යතාද පෙන්විය යුතුය. බැතිමත් කතෝලිකයෙකු බව හැගවීමට ඔහු කාන්තාවගෙන් ඉගෙනගනියි.  නමුත් එය පහසු නැත. යුදෙව්වකු ලෙස සුන්නත් කර ඇති ඔහුගේ ලිංගෙන්ද්‍රය සැගවීමට, ඒ ගැන බොරුවක් කියයි. අවසානයෙදී අතක් පවා අහිමිවන දරුවාගේ අරගලය නිමාවන්නේ නාසි පාලනය නිමාවීමෙන්ය.

 ඔහු නැවත උපන් ගමට පැමිණෙන්නේ කාත් කවුරුවත් නැති, බිහිසුණු මතකයන් සිහිපත් කරවන ගරාවැටුණු උපන් ගෙදර සහ වටපිටාවකටය. පියාගේ මරණය, අත අහිමිවීම සහ තවත් බිහිසුණු අත්දැකීම් පුංචි දරුවාගේ ළමාවිය අහිමි කර ඇත.

ඔනෑම අන්තවාදයක් අන්තවාදීවන්නේ ද්වෙෂය, තරහව, මුලාව ඇතිකරවන නිසා බව බුදුන් වහන්සේගේ ඉගැන්වීමය. අන්ත්වාදීන්ගේ දෘෂ්ටිය සියලු දෙනාට කූරත්වය, වෛරය ඇතිකරවයි. එයින් මිනිස් සමාජයේ යහපත් සබදතා සුනුවිසුණු කරවයි. මිනිස් සමාජය කෙරෙහි සුළු හෝ අනුකම්පාවක් ඇති, මිනිසුන්ගේ පරම යුතුකම වියයුත්තේ අන්ත්වාදයන් හදුනාගෙන ඉවත්වීමත්, මානව සමාජය කෙරෙහි සානුකම්පිතවීමත්ය.