Monday, September 3, 2012

සියලු පව්වලින් වැළකී කුසල් වැඩීමේ මග

සියලු පව්වලින් වැළකී කුසල් වැඩීමේ මග බටුවංගල සමිද්ධි හිමි සියලු පව්වලින් වැළකී කුසල් වඩා තම සිත දමනය කරගැනීම සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වන්නේය.මෙම ධර්මය සොයා යන සැදැහැවතුන්ට උපකාර පිණිස ඉහත අනුශාසනාව පැහැදිලි කිරීමට උත්සාහ කරමි. සියලු පව්වලින් වැළකීම යනු සියලු දුශ්චරිතවලින් තොරවීමය. එනම් කාය දුශ්චරිත, වචී දුශ්චරිත සහ මනෝ දුශ්චරිතවලින් වැළකීමය.එයට පාණාතිපාතා, අදින්‌නාදාන, කාමෙසුමිච්‌ඡාචාර, මුසාවාද, පිසුණා වාචා, ඵරුසා වාචා,සම්‌ඵප්‌පලාප, අභිජ්‌ඣා,ව්‍යාපාද සහ මිච්‌ඡාදිට්‌ඨි යන දස කර්මපථයෝද අයත්ය. මෙවා නැවතත් චෙතනා කර්ම සහ චෙතසික කර්ම වශයෙන් කර්මයෝ දෙදෙනෙක් වෙති.පාණාතිපාත, පිසුණා වාච, ඵරුසා වාච දොසසමුට්‌ඨාන ය. අදින්‌නාදාන, කාමෙසුමිච්‌ඡාචාර, මුසාවාදය ලොභසමුට්‌ඨාන ය. යම් සම්‌ඵප්‌පලාපයක් වේද එය මොහසමුට්‌ඨානයි. මේ සත් කරුණු චෙතනාකම්‌ම ය. යම් අභිජ්‌ඣාවක් ඇත්ද මේ ලොභ අකුසලමූල ය. යම් ව්‍යාපාදයක් ඇත්ද මේ දොස අකුසලමූල ය. යම් මිත්‍යා දිට්‌ඨියක් ඇත්ද මේ මිත්‍යා මාර්ගයයි. මේ තුන් කරුණ චෙතසික කර්මයි. සියලු පාපයන්ගෙන් වෙන්වීම තවත් පැහැදිලි කරන්නේ නම් මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසංකල්ප, මිථ්‍යාවචනය, මිථ්‍යාකර්මාන්ත, මිථ්‍යාආජීවය, මිථ්‍යාව්‍යායාමය, මිථ්‍යාසතිය, මිථ්‍යාසමාධිය යන අටවැදෑරුම් මිථ්‍යාවන්ගෙන් වෙන්වීම සියලු පාපයන්ගෙන් වෙන්වීමයි. මේ අටවැදෑරුම් මිථ්‍යාවන් නොඉපිදවීමක් ඇත්ද මේ "සබ්බපාපස්ස අකරණං" යයි කියනු ලැබේ. අට වැදැරුම් මිත්‍යාතත්වයන් ප්‍රහීන කල්හි අට වැදැරුම් සම්යක්තත්වයෝ සම්පාදනය වෙති. එනම් සම්මාදෘෂ්ටිය, සම්මාසංකල්ප, සම්මාවචනය, සම්මාකර්මාන්ත, සම්මාආජීවය, සම්මාව්‍යායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යන අට වැදෑරුම් සම්යක්තත්වයන්ගේ යම් ක්‍රියාවක් ඉපිදවිමක් ඇත්ද මේ "කුසලස්ස උපසම්පදා" යයි කියනු ලැබේ. බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කල්හී ආනන්ද හාමුදුරුවෝ එක් දිනක පෙර බුදුවරුන් දෙසූ දහම් කවරේදැයි ඇසූ පැනයට පිළිතුරු ලෙස ඉහත දේශනය කළහ. සියලු බුදුවරුන් උනන්දු කර ඇත්තේ පව්වලින් වැළකී කුශලයෙහි හැසිරීමටය. කුශල් මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පළමුවැන්න සම්මා දිට්ඨියයි.සම්මා දිට්ඨිය ඇති කල්හී ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැසිරෙයි. සම්මා දිට්ඨියෙන් තොරව ආර්ය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැසිරීමට නොහැක. එමනිසා සම්මාදිට්ඨි පිළිබද අවබෝදයක් ඇතිකරගැනීම උතුම්ය. මඣිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය ආර්ය අෂ්ඨාංගික මාර්ගය කුමක්දැයි පහදා දී ඇත. ශාරිපුත්‍ර ස්ථවීරයන් වහන්සේ විසින් වදාළ පරිදි යම් කලෙක පටන් අර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසලයත් දනී ද අකුසලමූලයත් දනී ද කුසලයත් දනී ද, කුසලමූලයත් දනී ද, එපමණකින්ම හෙතෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ධර්ම මාර්ගයට පැමිණියේ වේ. ප්‍රාණඝාතය අකුශලයකි. අදත්තාදානය අකුශලයකි. කාමමිතථ්‍යාචාරය අකුශලයකි. මුසාවාදය අකුශලයකි. පිසුණාවාචය අකුශලයකි. ඵරුසවචනය අකුශලයකි. සමඵපපලාපය අකුශලයකි. අභිධ්‍යාව අකුශලයකි. ව්‍යාපාදය අකුශලයකි. මිථ්‍යාදෘෂ්ටිය අකුශලයකි.සම්මා දිට්ඨිය ඇති කල්හී අකුශලය මෙලෙස හදුනාගනියි. සම්මා දිට්ඨිය ඇති කල්හී ප්‍රාණඝාතයෙන් වෙන් වීම කුශල‍යෙකි. අදත්තාදානයෙන් වෙන් වීම කුශල‍යෙකි. කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම කුශල‍යෙකි. මුසාවාදයෙන් වෙන් වීම කුශල‍යෙකි. පිසුණවචනයෙන් වෙන් වීම කුශල‍යෙකි. ඵරුස වචනයෙන් වෙන්වීම කුශල‍යෙකි. සම්ඵපපලාපයෙන් වෙන් වීම කුශල‍යෙකි. අනභිධ්‍යාව කුශල‍යෙකි. අව්‍යාපාදය කුශල‍යෙකි. සම්‍යග්දෘෂ්ටිය කුශල‍යකැයි හදුනා ගනියි. සම්මා දිට්ඨිය ඇති කල්හී අලෝභය කුශල මුලයෙකි. අද්වෙෂය කුශල මුලයෙකි. අමෝහය කුශල මුලයෙකි යනුවෙන් හදුනාගනියි. මෙම සම්මා දිට්ඨිය ඇති කරගැනීමෙන් අනෙකුත් ආර්ය අෂ්ඨාංගික ධර්මයන් වැඩේ. මෙය සියලු පව්වලින් වැළකී කුසල් වඩා සිත් පිරිසිදු කරගැනීමයි. එය සියලු බුදු රජාණන් වහන්සේලා දේශනා කරන උතුම් නිර්වාණ මාර්ගයයි. එහෙයින් සැමවිටම යහපතෙහි හැසිරීම උතුම්ය.