Tuesday, December 31, 2019

තුන් සීලයෙන් සතුට සොයමු




අපි ජීවත්වන යුගය යනු මානව ඉතිහාසයේ ස්වර්ණමය යුගයයි. තාක්ෂණය, විද්‍යාත්මක දැනුම, සෞඛ්‍ය පහසුකම්, ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස, සන්නිවේදනය ආදී සෑම අංශයකම දියුණුව සියලු මිනිසුන්ට අඩු වැඩි වශයෙන් විඳගැනීමට අවස්ථාව ඇත. අනෙක් අතට සමාජ ප්‍රශ්න, අර්බුද පවතින බව අපි දනිමු. ජාතිකවාදය, ආගම්වාදය එයිනුත් ප්‍රදාන වේ. සමාජවල අඩු වැඩි වශයෙන් පවතින විෂබීජ මේවාය. මිනිසුන් අතර වෛරය, තරහව, සැකය, බිය ඇතිකරන සාධකයෝය. මිනිස් නිදහස, විද්‍යාත්මක චින්තනය පුද්ගලයාගෙන් ඉවත්කරන සාධකයෝය.

මිනිස් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක ජීවත් වන අපි සතුටෙන් ජීවත්වීමට නම් නිතර සිහියෙන් පුරුදු කළයුතු අංශ තුනක් ඇත. එනම් තුන් සීලයක් ඇත.

1. ජාතිකවාදයෙන් තොරවෙමි

ජාතිවාදය, ජාතිකවාදය යනු පැහැදිලිව වෙනස්කම් හදුනාගැනීමට නොහැකි සංකල්පයෝය. මෙහිදී මුලින්ම සිදුවන්නේ "මම" (අහං), මගේ (අහස්මිං) ලෙස හඳුනාගැනීමයි. මෙම හදුනාගැනීම ඇතිවන්නේ මමායනයෙන්. එනම් මගේ ලෙස ගැනීමෙන්ය. බුදුන් වහන්සේට අනුව නම් එය තණ්හාවෙන් ඇතිවන්නකි. මගේ කුලය, මගේ භාෂාව, මගේ ජාතිය, මගේ රට ආදී වශයෙන් මමායනයෙන් අල්ලාගනියි. මෙසේ අල්ලාගත් කල්හී අනෙකාට එනම් මගේ නොවන අයට වෛර කරයි. වෙනත් කුලවල අයට, වෙනත් ආගම්වල අයට,වෙනත් ජාතිකයන්ට වෛර කරයි. මගේ ජාතිය, ආගම, රට පමණක් උසස් යයි විශ්වාස කරයි. ශ්‍රි ලාංකියන් වන අපි මෙම ජාතිකවාදයේ ප්‍රතිඵල දනිමු. 83 දී සංහාරය, තිස් අවුරුදු යුද්ධය, මුස්ලිම් - බෞද්ධ ගැටුම් මිනිස් ජීවිත දහස්ගණනක් බිලිදී ඇත. තවමත් සැකය සහ බිය සියලු වැසියන් තුළ ඇත. රටේ ආර්ථිකය,මිනිස් නිදහස පිරිහීමට පත්ව ඇත.

බුදුන් වහන්සේට අනුව නිවීමට නම් "මම" බැහැර කළ යුතුය. මම බැහැර කළ කල්හී "අනෙකා" නැත. සියල්ල වෙනස් වේ (අනිච්ච). සියල්ල වෙනස්වන ලෝකයක මම, මගේ ලෙස හදුනාගැනීම දුක, දොම්නස් ඇතිකරවයි. සැබෑ සාමය, සැනසීම, සතුට ඇත්තේ මෙම සත්‍ය තේරුම්ගැනීමට සිහිය පවත්වන කල්හිය.

2. ආගම්වාදයෙන් තොරවෙමි

අපේ නායක හාමුදුරුවෝ දවසක් කිව්ව දෙයක් තමයි "ආගම ඕනවට වඩා ඇඟට ගත්තහම මිනිස්සු පිරිහෙනවා". මෙම වාක්‍යයේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ආගමෙන් මූලිකව උගන්වන්නේ මනස සුවපත් කරගැනීමයි. මෙම මූලික අර්ථය බුද්ධාගම ඇතුලු සියලු ආගමික සංස්ථාවලින් අඩු,වැඩි වශයෙන් අතුරුදහන් වී ඇත
 
ආගම මනසට වෙනුවට ඇඟටගැනීම වර්තමානයේදී බහුව දැකිය හැකිය. මා කුඩා කාලයේ නිතර දැකපු දෙයක් තමයි මිනිස්සු පංසලට ආවේ අදට වඩා නිදහස්ව සහ සරලවය. වර්තමානයේදී එසේ නොවේ. මිනිස්සු ඇඳිය යුතු ඇඳුම බෞද්ධ ආයතනවල ප්‍රදර්ශනය කෙරේ. සුවපත් මිනිසා වෙනුවට සුචරිතවාදීන් ලෙස හැසිරීමට උනන්දු කරන ආගමික පරිසරයක් ඇත. මුස්ලිම් කරණයට විරෝධය දක්වමින් බෞද්ධයන්ද "මුස්ලිම්කරණය" වී ඇත. චෛත්‍ය, බෝගස් වටා අසීමිත දනයක්, කාලයක් ගතකරමින් පූජා, යාඥා පවත්වති
 
මෙම ආගමිකකරණයේ ප්‍රතිඵල තමයි: යහපත් ගුණාංග පුහුණු නොකරයි. පවුලේ අයට හෝ යහළුවන්ට කරදරයක්, හිරිහැරයක් වන ලෙස හැසිරෙයි. ආගමික නීතිරීතිවලින් මනස අවහිර කරගනියි. අපාය, දිව්‍ය ලෝක වැනි ආගමික සංකල්පවලින් පීඩනයට පත් වේ. සමාජයට කරන නරකම බැලපෑම නම් තමන්ගේම ආගමේ අයත් සමග සහ වෙනත් ආගම්වල අයත් සමග රංඩු, කාලහෝල, ගැටුම් ඇති කරගනියි.

ආගම්වාදයෙන් මිදී ආගම භාවිතා කළ යුතුවන්නේ අධ්‍යාත්මික දියුණුව පිණිසය. මනස සුවපත්වීම පිණිසය. තම ආත්ම ශක්තිය ඇතිකරගැනීම පිණිසය.

3. කරුණාවන්ත වෙමි

අපගේ ශරීරයේ ස්වභාවය, හැඟීම්, බලාපොරොත්තු ආදිය ගැන නිතර සිහියෙන් සිටින කල්හී අපි අපව හදුනාගනිමු. අපි අපව තේරුම්ගනිමු. කරුණාව ඇති වන්නේ තමන් විසින් තමන්ව තේරුම්ගන්නා විටය. තමන් තමන් ගැන සංවේදී වේ. මෙම සංවේදීකම අනුන් කෙරෙහිද ඇති කරගනියි. තමන්ගේ මෙන් වෙනත් අයටද ශරීරයක්, හැඟීම්, බලාපොරොත්තු ඇත. ආගම්, ජාති භේදවලින් තොරව සිසිල් වූ හදවතක් ඇති වන්නේ එතැනදීය. සිසිල් වූ හදවත අප සුවපත් කරවයි. නීවීමට පත්කරයි. සැකයෙන්, බියෙන් තොරව වර්තමානයේදී සතුටෙන් ජීවත් වේ.
(දිට්ඨධම්ම සුඛවිහාරාය සංවත්තති )

බටුවංගල සමිද්ධි හිමි

Tuesday, December 24, 2019

සතුටෙන් ජීවත්වීමේ මගේ දර්ශනය - සෑම් බර්න්ස්




සෑම් බර්න්ස් (Sam Berns - October 23, 1996 – January 10, 2014) යනු Progeria නම් රෝගි තත්වය යටතේත් ජීවිතය ජයගත් ඇමෙරිකානුවෙකි. progeria යනු ඉතා කලාතුරකින් කෙනෙකුට ජානවල විකෘතිතාවයකින් ඇතිවන තත්වයකි. තරුණ කෙනෙකුගේ පෙනුම වයසක කෙනෙකුගේ පෙනුමගැනීම එම තත්වයේ ප්‍රතිඵලයයි.

මෙවැනි තත්වයන් සහිත පුද්ගලයන් පිළිබඳව ඇතැම් සමාජවල තවමත් පවතින්නේ ආගමික අදහස්ය. පෙරපව් නිසා හෝ පාපය නිසා, කර්මය නිසා, දෙවියන්ගේ කැමැත්ත නිසා මෙසේ ඉපදුන බව පවසා ඔවුන් සමාජයෙන් ඈත් කරති. තවත් විටෙක ඔවුන් කෙරෙහි අධි සංවේදීභාවයෙන් කටයුතු කරති. සෑම් බර්න්ස් යනු ඉහත ආගමික අදහස් සහ සමාජ අනුකම්පාව ප්‍රතික්ෂේප කළ තරුණයෙකි. එම නිසා ඔහු දාර්ශනිකයෙකු ලෙස තම පෞරුෂය වර්ධනය කරගනියි.

තමන්ගේ අසරණකම පෙන්වා අනුන්ගේ අනුකම්පාව දිනාගන්නවා වෙනුවට සෑම් ඔහුගේ හැකියා වර්ධනය කරගැනීමට උත්සහ කළේය. එය කෙතරම් අපූර්වට සාර්ථකවූවාදැයි ඔහු ප්‍රකාශ කරන්නේ" මම නිතරම සතුටෙන් ජීවත්වෙනවා" යනුවෙනි. මෙවැනි පුද්ගලයන් හිඟමනයට පත් නොකොට ඔවුන්ගේ ශක්තියෙන් නැගීසිටීමේ හැකියාවද දියුණු රටවල දේශපාලන තීන්දුවලින්ම සහතික කොට ඇත. අපවැනි රටවල තවමත් ආබාධිතයන්, ශක්තිය අඩුපිරිස් ගැන අනුකම්පාවක් මිස, ඔවුන් සවිබලගන්වන දේශපාලන තීන්දු ස්ථාපිත කොට නැත. ඒ වෙනුවට දේශපාලකයන් ඔවුන්ට නොමිලේ දෙවල් දෙනබවට පොරොන්දු දෙති.

සෑම් ඔහුගේ පෞරුෂය උච්ඡතම අවස්ථාවට ඔසවා තබන්නේ තම ජීවන දර්ශනය කරුණු තුනක් යටතේය.

1) මට කළ නොහැකි දේ සමඟ මම හොඳින් එකඟවෙමි, මන්ද මට කළ හැකි බොහෝ දේ ඇති නිසාය. (I am okay with I ultimately can not do, because there is so much I can do.)

2) මම ආශ්‍රය කිරීමට කැමති උසස් ගුණයන්ගෙන් හෙබි පුද්ගලයන් වටා එකෙතුවෙමි.(I surround myself with people I want to be with people of high Quality.)

3) නව මාවත් විවෘත කරමින්, අලුත් දේවල් කරමින් අපි නොකඩවාම ඉදිරියට යමු. (We keep moving fordard, opening up new doors and doing new things. - Walt Disney )

මම රෝගියෙක්, මගේ පෙනුම කැතැයි, මම පව්කාරයෙන්, මට බැහැ, වැනි මානසික ව්‍යාධිවලින් මිදිමේ ශක්තිය අප සතුය. එකිනෙක මිනිසා සතු සුවශේෂ හැකියා හදුනාගෙන එහි උනන්දුවෙන් නිරතවීමෙන් සාර්ථක ජීවිතයක් ගතකිරීමේ හැකියාව දියුණු කරගත හැකිබවට සෑම් නිදසුනකි.

සෑම් බර්න්ස්ගේ අදහස් දැක්වීම මෙම වීඩියෝවෙන් ශ්‍රවනය කළ හැකිය.

Monday, December 23, 2019

ළමයි මහණ කිරීම




යටලමත්තේ කුසලානන්ද හිමි
Image result for ළමයි මහණ කිරීම
ආගම උපතින් ලැබෙන්නක් නොව පසුකාලීනව තම අවබෝධය මත තෝරා ගනු ලබන දෙයක් විය යුතුය. එසේම ළමයින්ට ආගම ඉගැන්වීම ද සිදු කළ යුත්තේ ඔවුන්ට ආගමක් තෝරාගත හැකි පරිද්දෙන් විය යුතුය. ළමයින්ට ඉගැන්විය යුත්තේ ආධ්‍යාත්මික වටිනාකම්‍ ය. මනුස්සයෙක් වශයෙන් මිනිසුන් සමග යහපත් මානව සම්බන්ධතාවක් පවත්වා ගැනීමට මිනිසා ආධ්‍යාත්මික වටිනාකම් දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය ය. එනිසා ළමයින්ට ආධ්‍යාත්මික වටිනාකම් ඉගැන්විය යුතුය.
ළමයින් කිසිම දෙයක අතකොලුවක් නොවිය යුතුය. ආගමට සේම වෙළදදැන්වීම් ප්‍රචාරයට ද ළමයින් යොදා වැනිම යෝග්‍ය නොවේ. ළමයින් මුලික වශයෙන් ජීවත් විය යුත්තේ පවුල් පරිසරයකය. බුදුන්වහන්සේ ඉගැන්වීම අනුව දෙමාපියන් ළමයින්ගේ පූර්වාචාර්‍යවරු ලෙස හදුන්වනු ලැබේ. එසේම ළමයින්ට පාපී ක්‍රියාවලින් වැලැක්වීමත්,යහපතෙහි යෙදවීමත් දේමාපියන්ගේ වගකීමකි. මව්පිය සෙනෙහස නිසිපරි දී නොලැබීම පසුකාලීනව පෞර්ෂය ආබාධ ඇති කරනු ලැබයි. නිදසුනක් ලෙස ජාතක පාලියේ එන මහා පලෝහන ජාතකයේ කුමාරයා මව් සෙනෙහසින් තොරව වර්ධනය වී ලිංගික ඊර්ෂ්‍යාව ක්‍රියාකරන්නට පටන් ගනියි.
බුදුන්වහන්සේ චුල්ල පන්ථක තෙරුන්ට දක්වන ලද ආදරය සෙනෙහස මෙසේය. "භාග්‍යවතුන් වහන්සේ එතැනට පැමිණියේය. මගේ හිස පිරිමැදේය. මා අතින් ගෙන සංඝාරාමයට පිවිසු විය." ථේරගාථාවල සදහන් වේ. උන්වහන්සේ කුමාර කාෂ්‍යප තෙරුන්ට ද පිතෘ සෙනෙහස පළ කර ඇත. යම් මිහිරි පළතුරක් ඇත්නම් මෙය කුමාර කාෂ්‍යට දෙන්න යැයි යැවීම බුදුන්වහන්සේගේ සිරිතකි. ආරක්ෂා නොමැතිව සිටි සෝපාකට පිළිසරණ වන විට ඔහුගේ වයස හතකි. අනාරක්ෂිත ළමයින් දෙදෙනෙකු මහණ කිරීමට බුදුන්වහන්සේ පසළොස් අවුරුදු වයස් නොවූ දරුවන් පැවිදි නොකළ යුතුබවට පණවා තිබූ නිතිය වෙනස් කොට කපුටෙකු පලවා හැරීමේ සමත් නම් පැවිදි කරන ආනන්ද හිමිට අවසර දී ඇත. මෙම ළමුන් දෙදෙනා දෙමාපියන් වසංගත රෝගයකින් මරණයට පත් වී ඇත. භික්ෂු සමාජයේ ගුරු ශිෂ්‍ය සබඳතාව පිය පුතු සබදතාවට සමාන කර ඇත.එසේම
බුදුදහම කලලයේ සිටම ළමයෙකු වර්ධනය වන ආකාරය හා කළ යුතු යුතු කම් රාශියක් දක්වා ඇත.
ළමයෙකු ශාරීරික වර්ධනයට අවශ්‍ය පොෂ්‍ය පදාර්ථ මෙන්ම මානසික වර්ධනය සදහා ද ලබා දිය යුතු දේ ඇත.
1. වැඩිහිටි ආදර සම්බන්ධතාව
2.
තමා ආරක්ෂා සහිතය යන හැගීම වර්ධනය වීම
3.
කළහකාරී පරිසරවලින් වෙන් කර තැබීම
4.
සුරතල් කිරීම සිනහවෙන් කතා කිරීම
5.
බාහිර සමාජය ටිකෙන් ටික හදුනා ගැනිමට සැලැස්විම
4.
සෙල්ලම් කිරීමට අවස්ථාව සැලසීම
ඉහත සදහන් සියලු අයිතිවාසිකම් ළමයිනට හිමි විය යුතු අයිතිවාසිකම් ලෙස බුදුදහම පිළිගන්නා බවට සාධක ත්‍රිපිටක තුළ සොයා ගත හැකිය.
ළමයිගේ අයිතිවාසිකම් ලෙස සැලකිය හැකි මෙම කරුණු ළමයින්ට ලබා දිය යුතුය.
(පුත්තා වත්ථු මනුස්සානං) මනුෂ්‍යන්ට වස්තුව වන්නේ දරුවන්‍ ය. එසේ නම් දරුවන් රැකගත යුතු වස්තුවක්මය. දරුවන්ට ආරක්ෂා සහිතම තැන තම පවුල ය. දෙමාපියෝ පූර්ව ආචාර්යවරුය. මවගෙන් පියාගෙන් ලැබෙන ආදරය රැකවරණය වෙන කිසිවෙකුගෙන් ලැබිය නොහැකිය.
ලෝකයේ දිලිදුකම,නුගත්කම නිසා දරුවන් අතරමං කර දැමීම,විකිණීම, මෙහෙකාර සේවයට ගැනීම, සමාජ අක්‍රමිකතාවලට යොදා ගැනීම, අතවරයන්ට ගොදුරු වීම, පොදු අධ්‍යාපනය අහිමි වීම, යුග ජීවිතය තුළ දරුවන්ට නිසි රැකවරණය නොලැබිම, මන්ද පෝෂණය වැනි උපදාව රැසකට ළමයා මුහුණ දෙමින් සිටියි. ආගමික නාමයෙන් ළමයින් හිංසනයට පත් විම ගැටලුවකි.
මෙකි කිසිදු හිසංනයකට පාත්‍ර නොවී පැවතීමටත්, සුරක්ෂිතව ළමයා සුරැකීම වගකිම් සහගත වැඩිහිටියාගේ මෙන්ම ආගමික නායකයන්ගේ ද යුතුකමයි. ආගම සංස්කෘතිය රැකීමට ළමයා භාවිතා කරනවා වෙනුවට ළමයා සුරක්ෂිත කිරීමට ආගමෙහි ආධ්‍යාත්මික සංකල්ප උපයෝගී කර ගත හැකිය. බුදුන්වහන්සේ මහණ කිරීම වයස පහළවේ සීමාමට සීමා කර තිබී, විශේෂ හේතුවක් නිසා කපුටන් එලවන ළමයින් දක්වා සීමාව පහත හෙලා ඇත. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව වයස 18 දක්වා ළමයෙකු බව පිළිගනු ලබයි. ඒ අනුව වයස දහ අටෙන් පසුව තම කැමැත්ත පරිදී මහණ වීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසනු හැකි නම් සසුනේ චිර පැවැත්මට එය හේතුවක් වනු ඇත. එනම් සැබෑ ලෙසටම අවශ්‍යතාව සහිත වැඩිහිටි තරුණයන් සසුනට පිවිසෙනු ඇත. රාජ්‍ය පාලන නිතීවලට අනුකූල විය යුතුබව විනය පිටකයේ තිබෙන නිසා එම ප්‍රතිපාදන සහිතව මෙම සීමා පැමිණ වීම කළ හැකිනම් බුදුදහම තුළ ඇති මානුෂවාදී සවභාවය ලොව පුරා තව තවත් පැතිරෙනු ඇත.
විශේෂ අවශ්‍යතා මත ස්වකීය කැමැත්තෙන් ළමයෙකු සසුන්ගත විමට කැමැති නම් එම සසුන් ගත වන ස්ථානයේ ළමයෙකුට අවශ්‍ය කරන ආදරය සෙනෙහස සුරක්ෂිතභාවය ඇති තැනක් බව හදුනාගෙන වගකීම් සහගතව කළ හැකි ස්ථාන වලට විශේෂ අවසරයක් ලබා දිය හැකිය. එබදු ස්ථාන නිබදවම පරික්ෂවට ලක් කළ හැකිය. මෙලෙස විදිමත් කිරීම තුළින් පහසුකම් නොමැතිව පවත්වා ගෙන යන පුහුණු මධ්‍යස්ථානවල සිටින සාමණේර හාමුදුරුවරු විදිමත් ආයතනවලට යොමු කළ හැකිය. ආයතන පවත්වා ගැනීම සදහා ළමයි නොව ළමයි උදෙසා ආයතන බිහි විය යුතුය. මන්ද ලංකාවේ හා ලෝක පූජීත විද්වතුන් පන්සල් ඇසුරි බිහි වී ඇත. එසේ බිහිවන්නන් පසුපස ශික්ෂණයෙන් යුතු භික්ෂූන් බිහි කිරීම සදහා වූ සුවිශාල පසු බිමක් තිබී ඇත. ලංකාවේ බොහෝ දෙවල්වල්ට ප්‍රමිතියක් නොමැති සේම බොහෝ පුහුණු ආයතනවල ද ප්‍රමිතීන් නොමැත.
කිසිදු ප්‍රමිතියකින් තොරව වෙනත් අවශ්‍යතාවන් මුල් කර ගෙන ළමුන් සසුන් ගත කිරීම වැලැක්විය යුතුය. මෙය භික්ෂුවන්ගේම වරදක් නොවේ. පන්සලේ හාමුදුරුවරු අඩු නම් දායකයන්ම පැමිණ කවුරු හරි ඈත පළාතක ළමයෙක් මහණ කර ගත්ත නම් හොද බව කියයි. නමුත් ඔහුගේ හෝ ඇයගේ ළමයා ඒ සදහා දන් දීමට සූදානම් නැත. දුප්පත්කම අසරණකම මතින් තමාගේ පන්සලේ පාලු මැකීමට දායකයෝ මෙම යෝජනා කරයි. දාන පාංශුකූල පිරිත් පිංකම්වලට භික්ෂූන් මදි වන විට ද යමක් කමක් ඇති දායකයන්ට දුප්පත් ළමයින්ට පිහිට වීමට මහණ කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරයි. කවුරු හෝ ළමයෙක් මහණ කරන ලෙස භික්ෂූන් පොළබවයි. තමාගේ ළමයා ගෙදරින් පිට දවසක් වත් තැබීමට අකැමැති මිනිස්සු සසුන රැක ගැනීමට හා තම ආගමික කටයුතු ටික කර ගැනීම සදහා ළමයි මහණ කිරීම සාධාරණීකරය කරයි. මෙබදු අවස්ථාවල භික්ෂූන් ද අසරණ වී එම යෝජනාවලට කැමති වෙයි.
එසේම අසරණ ළමයින්ට පිහිට වීම සදහා වෙනම බෞද්ධ ආයතන පිහිටුවා එම ළමයින්‍ට පිහිට විය හැකිය. ආගමික නායකයන්ගේ හා සමාජයේ සමාජ වගකීම මත ළමා අයිතිවාසිකම් සුරැකෙන පරිදි කට යුතු කරන නව වැඩ පිළිවෙලකට යායුතු කාලය බෞද්ධ සමාජයට පැමිණ ඇත.
ප්‍රමාණයෙන් කුඩා වුවද, ඒ නිසාම අවදානයට ලක් නොවූව ද ලෝකයේ හෙට දවස ගොඩ නැගෙන්නේ ළමා පරපුරෙනි. මිනිසාට හෙට ගොඩ නැගෙන ලෝකය සුවදායක එකක් වන්නේ කයින් හා මනසින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් බිහි වීමෙන් පමණය. ඊට ඇති සියලු බාධක නැති කිරිම වැඩිහිටි අපි සැමගේ වගකීමකි.

Friday, December 20, 2019

අපාය සංකල්පය ඇත්තද?


Klick here..

බෞද්ධ ආරාමවල අනුග්‍රහ කිරීම දිව්‍ය ලෝකවල ඉපදීමටත්, එසේ නොකිරීම සහ වෙනත් දුරාචාරවල නිරතවීම අපායේ ඉපදීමටත් හේතුවන බව ආගමික පරිසරයෙන් ඇසෙයි. නූතනයේදී බහුතර මිනිසුන් මෙවැනි සංකල්ප පිළිගැනීමට මැලිවෙද්දී තවත් අය ඒවා පිළිගෙන බියට පත්වෙති. විශේෂයෙන් අපාය ගැන බෞද්ධ යතිවර තිෂ් නතාන් හිමිගේ විග්‍රහය ඉතා පැහැදිලිය. ප්‍රායෝගිකයි.
උන්වහන්සේට අනුව සමජයේ කොටස් දෙකක් සිටිති:

1) යමක් ඉක්මණින් තේරුන්ගැනීමට හැකියාව ඇති පිරිස

2) ඉක්මණින් යමක් තේරුම්ගැනීමට නොහැකි, අඩු අධ්‍යාපනයක් සහිත පිරිස.

දෙවන පිරිස වඩාත් යහපත් හැසිරීම්වලට යොමුකිරීම පිණිස අපාය, කළ ක්‍රියාවට අනුව ප්‍රතිපල ලැබීම වැනි දේ උගන්වති. මරණින් පසු ඉපදීම, වෙනත් ශරීරයකට විඤ්ඤාණය, මනස ඇතුලුවීම වැනි අදහස්ද බෞද්ධ සමාජවල පවතින්නේ එමනිසාය. බුදුන් වහන්සේට පෙරත් මෙවැනි සංකල්ප පැවතිනි. තේරුම්ගැනීමේ ශක්තිය අඩු අයට එම සංකල්ප සදාචාරාත්මක හැසිරීම් ඇතිකරගැනීමට උදව්විය හැකිය.

බුදු දහම යනු ධර්ම දොරටු 84000 ක්( අසූහාර දහසක් ධර්මස්කන්ධ ) සහිත දහමකි. එහි ඇතැම් දොරටු පළමු පිරිස පිණිසය. එනම් දාර්ශනික විග්‍රහකිරීම්ය. ඉතා සරල ඉගැන්වීම දෙවන පිරිස සඳහාය.

බුදු දහම පිළිපැදීමේදී වැදගත් නැහැ එවැනි ආගමික සංකල්ප. වැදගත් වන්නේ යහපත් දෘෂ්ටියක්, සංකල්ප, අදහස් ඇති කරගැනීමයි. යහපත් දෘෂ්ටි, අදහස් ඇති අයගේ කතාබහ, ක්‍රියාව ප්‍රියජනකයි. මේ නිසාම තමයි බෞද්ධ සම්ප්‍රධායන් විශාල ප්‍රමාණයක් තුබුණත් ඒවා අතර යම් සහනසීලී බවක් පවතින්නේ. ශුද්ධ යුද්ධ කිරීම්වලින් වැළකී තිබෙනවා. අනෙක් අයට වෛර කිරීම යහපත් දෘෂ්ටිය නොවේ.

අතීතය, වර්තමානය සහ අනාගතය යන තුන්කාලයේදීම යහපත් සංකල්ප සමග ජීවත්වීම බුදු දහම පිළිපැදීමයි. භාවනාව තුළින් එම ශක්තිය ඇතිකරගැනීමට පුළුවනිය. භාවනාවේදී අපට වැටහෙනවා අපි ස්වභාව ධර්මයේ කොටසක් බව. අනෙක් මිනිසුන්ද අපි මෙන්ම ස්වභාව ධර්මයේ කොටසක් බව තේරුම් යයි. අපි සහ ස්වභාදහම යනු දෙකක් නොව අන්තර් සම්බන්ධයක් සහිතයි.

තිෂ් නතාන් යතිවරයාණන් අදහස් කරන්නේ ස්වභාව දහමේ රිද්මය නුවණින් දකින කල්හී අපායට බියවීම, දිව්‍යලෝකවලට තෘෂ්ණා කිරීම ආදියෙන් වැළකී මේ මොහොත තුළ සතුටින් ජීවත්වන බවයි.

Wednesday, December 18, 2019

වාහනපැදවීමට භික්ෂුවට කැපද? ගල්කන්දේ ධම්මානන්ද හිමි

Image result for galkande dhammananda thero 
  ගල්කන්දේ ධම්මානන්ද හිමි
https://www.facebook.com/dhammananda/posts/10220268408010682
මුහුණු පොතේ තබන ලද සටහනකින් උපුටාගන්නා ලදි

භික්ෂූන් වහන්සේ නමක විසින් පදවන ලද වාහනයක ගැටීමෙන් තරුණයෙකු මියගිය පුවතක් අසන්නට ලැබිණ. මේ පදනම් කරගෙන ලියැවෙන පෝස්ට් කිහිපයක්ම කියවන්නට ද ලැබිණ.
මේ එබඳු පළමු රිය අණතුර නොවේ. නොයෙක් විට මෙබඳු ප්‍රවෘත්ති අසන්නට ලැබේ.
මේ තත්ත්වය වෙනස් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක් ද?
මට වැටහෙන පරිදි මෙයට දිය හැකි යතාර්ථවාදී විසඳුම වන්නෙ භික්ෂූන් වහන්සේලාට නීත්‍යානූකූල ලෙස රිය පැදවීමට අවසර ලබා දීමයි. එබඳු පරිසරයක හැංගි හොරා නැතිව රියැදුරු පාසැලකට බැඳී නිසි පුහුණුවක් හා මාර්ගනීති පිළිබඳ අවබෝධයක් ලැබීමෙන් පසුව අදාළ විභාග සමත් වී, රථයක් පැදවීමට තරම් සුදුසු ශාරීරික සහ මානසික තත්ත්වයක සිටිනා බව ඔප්පු කිරීමෙන් පසුව රියැදුරු බලපත්‍රය ලබා ගත හැකිය.
රිය පැදවීම නීත්‍යානුකූල ක්‍රියාවක් වන බැවින් කාට හෝ අසුවේදෝ'යි බියෙන් තවදුරටත් හැංගි හොරා වාහන පැදවිය යුතු නැත. නීත්‍යානුකූල සහ නිවැරදි ක්‍රියාවක යෙදෙන්නෙකුය යන විශ්වාසයෙන් රථය පැදවිය හැකිය. මෙසේ කිරීමෙන් පසුව නීතියට අනුගත නොවී රියපදවන භික්ෂුවක් වෙත්නම් රටේ අනෙකුත් නීති කඩකළ විට භික්ෂුවක් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයෙන්ම කිසිත් වෙනසක් නැතිව දඩුවම් පැමිණවිය හැකිය.
භික්ෂූන් රථයක් පැදවීම වරදක් දැයි වරක් මගේ ආචාර්යයන් වහන්සේ ගෙන් විමසා සිටියෙමි. උන්වහන්සේ පෙන්වා දුන්නේ 'ලෙඩක් දුකක් නැති භික්ෂුවක් රථයකින් යනවා නම් එය විනයට අනුව වරදක්' බවයි. එහෙත් විනයේ සඳහන් 'රථයක්' යනු සතුන් අදින රථ බවත්, සතුන් අදින රථයකින් නිරෝගී භික්ෂුවක් ගමන් කිරීමේ වරද වන්නේ සතුන්ට හිංසා කිරීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. අද ඇති වාහන සතුන් අදින වාහන නොවන බැවින් එය පැදවීම කිසිසේත්ම වරදක් නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
මගේ හැඟීම වාහනයක් යනු අන් ඕනෑම උපකරනයක් මෙන් වූ තවත් උපකරණයක් බවයි. පෑන, පරිගණකය මෙන් වූ තවත් උපකරණයක් බවයි. ඒ උපකරණය යහපත් අරමුණු සඳහා භාවිතා කිරීමේ කිසිදු වරදක් නොමැති බවයි.
(මා ඉදිරිපත් කර ඇති අදහස ඇතැමෙකුට නිසි සේ වැටහී නොමැති සේ පෙනෙන බැවින් මේ පසු සටහන එකතු කරමි.
රිය පැදවීම තම කටයුතු සඳහා අවශ්‍ය කරන භික්ෂුවකට නීත්‍යානුකූල ලෙස ලබා ගැනීමට ඇති බාධා ඉවත් කළ පමණින් රටේම භික්ෂූන් රියැදුරු බලපත් ගන්නට යන්නේ නැත. නමුත් නිසි පුහුණුවක් නැතිව හොරෙන් යන්තම් වාහනය හැසිරවීමට හුරුව ඇතිව පාරට වාහන ‍රැගෙන එන භික්ෂූන් ඉන් මුදා ගත හැකිය. ඔවුන් පැකිලීමක් නැතිව පුහුණුව ලබා ඉන්පසුව බලපත්‍රයක් සහිතව වාහනය පදවන තැනට මේ මගින් ගෙන ආ හැකිය.
මේ ලිපියට පාදක වුණු සිද්ධිය අදාළ භික්ෂුවට වෛර කරන අතර මිය ගිය තරුණයා කෙරෙහි අනුකම්පා සහගත වීම ඇතැම් දෙනෙකුගෙන් පෙනෙන හැසිරීමයි. නමුත් මේ දෙදෙනා කෙරෙහිම මෛත්‍රී සහගත වීම ද මේ 'දෙදෙනාම' බේරා ගත හැකි පිළිතුරක් ගොඩ නැගීම ද බුද්ධි ගෝචර මැදිහත් වීමයි. මා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා වන එක ආකාරයකි.
බොහෝ දෙනා අසා තිබූ 'යම් ග්‍රාම්‍ය මට්ටමක් පෙන්නුම් කළ' ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ලෙස දැක්විය හැක්කේ ක‍තෝලික පියතුමන්ලා රියැදුරු බලපත්‍ර ලබාගෙන එම හැකියාව සමාජයේ උන්නතිය සඳහා ඉතා හොඳින් භාවිතා කරන බවය. එසේ වූ පමණින් පියතුමන්ලා විවාහ වන්නට ද අවසර ඉල්ලන්නේ නැත. එය කිසිසේත්ම අප සාකච්ඡා කරන මාතෘකාවට අදාළ නැති සම්පූර්ණයෙන්ම වෙනස් මාතෘකාවකි.
බුදුදහම අනිත්‍යතාව හෙවත් වෙනස් වීම අවධාරණය කොට දක්වයි. එහෙයින් වෙනස්වීම් ඉදිරියේ අවශ්‍ය පරිදි වෙනස් වීමට තීරණය කිරීම දියුණුවේ ලක්ෂණයකි. තවත් කාලයක් පැවතීමට අදාළ වන තීරණයකි. එහෙත් එය සැවොම එකවර එකඟ වන කරුණක් නොවනු ඇති. (මෙබඳු තීර්ණයක් නිසා නව ප්‍රශ්න ඇති නොවනු ඇතැයි මම නොපවසමි. එසේ ප්‍රශ්න මතුවන විට ඒවාටද මේ ආකාරයටම ප්‍රායෝගික ලෙස සිතා පිළිතුරු ගොඩනැගිය යුතුය).

Saturday, October 12, 2019

"ආගම්වලට හෝ ජාතිකවාදයට නූතන සමාජ ශක්තිමත් කළ නොහැක"


පවතින රීතිය නම් යම් දෙයක් නිතරම අදියරක් පසුකොට තවත් අදියරකට පැමිණීමයි. ලාංකේය දේශපාලනයේ පවතින රීතිය නම් වසර 20කට හෝ 10කට පෙරපැවති දේම පුනරුච්ඡාරණය කිරීමයි:

"රණවිරුගාය, රට ජාතිය රැකීම, ආගම රැකීම, බඩකට පිරෙනයුගයක්, දුප්පතාගේ හිතවතා,විනයක් ඇති රටක් "

වැනි අදේශපාලනික මාතෘකා දේශපාලන වෙදිකාවලින් ඇසෙන්නේ ඒ නිසාය.

ලංකාව මුහුණපාන ආර්ථික අර්බුදයෙන් නිදහස්විමට ක්‍රියාපිළිවෙත කුමක්ද?

රටේ කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය නැංවීමට ඇති වැඩපිළිවෙල කුමක්ද?

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස,සියලුදෙනාගේ අයිතීන් ශක්තිමත් කරන්නේ කෙසේද?

පාරිසරික සුරක්ෂිතතාවය ශක්තිමත් කරන්නේ කෙසේද?

නවීන ලෝකයට රටවැසියා සූදානම් කරන්නේ කෙසේද?

ප්‍රසිද්ධ ජනාධිපති අපෙක්ෂක දෙදෙනාම මෙම දැවෙන ප්‍රශ්න කතා කරන බවක් නොපෙනේ.
ඒ වෙනුවට ඔවුන් සුපුරුදු පරිදි ජාතිකවාදය, ආගම්වාදය මුල්කරගෙන ඡන්ද සටනෙහි නිරතවෙති. ආගම්වලට හෝ ජාතිකවාදයට නූතන සමාජ ශක්තිමත් කළ නොහැක.
එවා යල්පැනගිය අදහස්ය.