Monday, February 8, 2010

කෝපෙන්හේගන් දේශගුණික සමුළුව සහ පරිසර කාබාසිනියාව


විසඳුමකින් තොර අර්බුදය උග්රවීම සාමාන්ය තත්ත්වයකි. පරිසර අර්බුදය ද දිනෙන් දින උග්ර වන්නේ පේන තෙක් මානයක විසඳුමක් නැති නිසාය. පසුගිය වර්ෂයේ අවසාන භාගයේදී පාරිසරික අර්බුද ගැන විශේෂ උනන්දුවක් ලෝකයේම ඇතිවිය. ඩෙන්මාර්කයේ කෝපෙන්හේගන් දේශගුණික සමුළුව ඊට හේතුවයි. නමුත් නව වර්ෂයේදී ඒ පිළිබඳ උනන්දුව පහව ගොස් ඇත. ලංකාවේ නම් පවතින මැතිවරණ කටයුතු නිසා කෝපෙන්හේගන් සමුළුව පවතින දිනවලත් ජනමාධ්යවල උනන්දුවත් නොවීය. පාරිසරික අර්බුද සියලු දෙනාට දැනෙන අවාසනාවන්ත තත්ත්වයක් බැවින් කල්ගත වුණත් සමුළුවේ ප්රතිඵල සහ නව වර්ෂයේ පාරිසරික කාබාසිනියාව පිළිබඳව සාකච්ඡා කිරීම ප්රයෝජනවත්ය.

කෝපෙන්හේගන් දේශගුණික සමුළුවට රටවල් 115 ක ජන නායකයෝ සහභාගි වූහ. ඩෙන්මාර්ක රජය විශාල වියදමක් දැරුවේය. අති සුඛෝපභෝගී මෝටර් රථ ප්රවාහනය සඳහා යොදවා තිබුණි. සුඛෝපභෝගී හොටෙල්වල අධික මිල ආහාර අනුභව කළෝය. සතුටු සාමීචියෙහි යෙදුනහ. වියදමේ තරමට සමුළුවේ ප්රතිඵල අල්ප මාත්රයක් තරම්වත් නොවූ බව අපි දනිමු. විරෝධය පෑ එක් පරිසර සංවිධානයකට අනුව ලෝක නායකයන් කළේ ඨ්එයෑරසබටල eaඑසබටල ජය්එසබට (රැස්වී, කමින් බොමින්, සතුටු සාමීචියෙහි යෙදීම) පමණි.

සමුළුවට පැමිණි දින කිහිපයේදී පරිසර අර්බුද වැළැක්වීමට විසඳුම් පිළිබඳව එකඟතාවන්ට පැමිණීම කෙසේ වෙතත් ලෝක නායකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ස්වභාවික සම්පත් විශාල ප්රමාණයක් විනාශ කරන ලදී. උදාහරණයක් ලෙස නායකයන් ප්රවාහනය කළ මෝටර් රථවලින් නිකුත් වූ කාබන්ඩයොක්සයිඩ් ප්රමාණය වැඩි විය. සමුළුවේ ඉදිරිපත් වූ ප්රධාන යෝජනාව වූයේ කාබන්ඩයොක්සයිඩ් වායුව අංශක දෙකකට වඩා අඩුවෙන් පවත්වා ගත යුතු බවයි. මෙම යෝජනාවට එකහෙලා විරුද්ධ වූ නොබෙල් සාම ත්යාගලාභී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාද, චීන අගමැති වෙන් ජියාබාඕද සමුළුවෙන් ලිස්සා ගියේය. එපමණක් නොව ඔවුන් අල්ලසක් දීමටද තැත් කළේය. චීනය සහ ඇමරිකාව නූතන පරිසර දූෂණය සඳහා 60% කට වඩා වැඩි දායකත්වයක් දරයි. එම වරදින් පලා යැමට ඩොලර් මිලියන සීයක අල්ලසක් දීමට පොරොන්දු විය. එමනිසාම විසඳුමකින් තොරව සමුළුව නිමාවට පත්විය.

කෝපෙන්හේගන් දේශගුණික සමුළුව යනු පරිසරය සම්බන්ධව පැමිණි ප්රථම සමුළුව නොවේ. දශක ගණනාවක් තිස්සේ මෙබඳු සමුළු රාශියක් පැවැත්වීය. කොපමණ සමුළු පැවැත්තුවත් පරිසර අර්බුද සම්බන්ධව තිරසාර විසඳුමකට පැමිණීමට අපොහොසත් වී ඇත. අද දවස වනවිටත් පරිසර අර්බුද උග්ර වී ඇත. පාරිසරික දූෂණය ශීඝ්රයෙන් වැඩිවන බව නොරහසකි. කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩිපුර පරිසරයට මුදා හැරීම නිසා වායුව, ජලය, භූමිය දූෂණය වී ඇත. ඕසෝන් ස්ථරය පටුවීම නිසා ගෝලීය උණුසුම වැඩිවෙමින් පවතී. මෙම සියලු අහිතකර දේශගුණික තත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ මානව ක්රියාකාරකම් නිසාය. එනම් ස්වභාවික සම්පත් සූරාකෑමට ලක් වී ඇත.

නව ධනවාදී ආර්ථිකයේදී ස්වභාවික සම්පත් අසීමිතව සූරාකෑමට ලක්වන්නේය. ධනවාදය පුරාණ අවධියේ පටන් පැමිණියේය. වර්තමානය තෙක් ධනවාදය විවිධ වෙනස්කම් සහිතව විකාශනය වී ඇත. යුරෝපයෙන් ආරම්භ වී විකාශනය වූ කාර්මික විප්ලවයෙන් ද නව ධනවාදී ආර්ථිකයක් ඇති විය. එම නූතන ධනවාදයේ මූලික ලක්ෂණය වන්නේ තරගකාරී ලෙස ලාභය උපරිමය කර ගැනීමයි. ඒ සඳහා සම්පත් උපරිමය වශයෙන් භාවිත කළ යුතුය. නව කාර්මික නිෂ්පාදනයන් සඳහා අමුද්රව්ය අවශ්යය. අමුද්රව්ය යනු ස්වභාවික සම්පත්ය. නූතන ධනවාදී ආර්ථිකයේදී ලාභය උපරිමය කර ගැනීමට ස්වභාවික සම්පත් උපරිමයෙන් ම භාවිත කරයි. ස්වභාදහම උත්පාදනය කරනවාටත් වඩා නිෂ්පාදනයන් සඳහා අමුද්රව්ය යොදා ගන්නා බැවින් උග්ර සූරාකෑමකට පරිසරය සමත් වී ඇත.

ස්වභාවික සම්පත් සූරාකෑම නිසා වර්තමානයේදී රාජ්යයන් හඳුනා ගත්තේ බලවතුන් ලෙසය. ස්වභාවික සම්පත් සූරාකෑමේ තරම අනුව මහ බලවතුන්, මධ්යම බලවතුන් සහ සුළු බලවතුන් ලෙස පෙනී සිsටිති. හොඳින්ම පරිසරය සූරාකන රාජ්යයේ ඒක පුද්ගල ආදායම ඉහළ අගයක පවතී. ආර්ථිකයෙන් බලවත් වී ඇත. එවැනි රාජ්යයන්වල ක්රියාදාමය වන්නේ ස්වභාවික සම්පත් සහිත රාජ්යයන් හොඳින් හෝ නරකින් අත්පත් කර ගැනීමට පෙළැඹීමයි. ඇමරිකාව සහ චීනය මහ බලවතුන් අතර ඉහළින්ම වැජඹේ. මෙම රාජ්යයන් තාක්ෂණය භාවිත කරමින් ස්වභාවික සම්පත් දැඩිව සූරාකයි. ඔවුන් උපක්රමශීලී වෙති. ස්වභාවික සම්පත් සහිත සුළු බලවතුන්ද හොඳින් හෝ නරකින් ග්රහණය කර ගනිති. චීනය මහ බලවතෙකු ලෙස ටිබෙටය බලහත්කාරයෙන් ග්රහණය කර ගෙන ඇත. බුරුමය මිත්රශීලී ලෙස ග්රහණය කර ගෙන ඇත. මෙහි ප්රධාන අරමුණ එම රාජ්යයන්වල ඇති ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමය.

තරගකාරී ලෙස බලවතුන්වීමේ අපේක්ෂාවෙන් ස්වභාවික සම්පත් උත්පාදනය කරනවාට වඩා පරිභෝජනය කිරීම යනු පරිසරය සූරාකෑමයි. පරිසර කාබාසිනියාවද එම නිසාම උග්ර වී ඇත. පාරිසරික විපත් වැඩිවෙමින්ද පවතී. ලෝකයම රත් වී ඇත. කොපමණ රන් වුණත් පරිසර සූරාකෑම නැවැත්වීම කෙසේ වෙතත් පාලනය කිරීමටවත් ලෝක නායකයන් එකඟ නොවන බව පැහැදිලිය. පරිසර සූරාකෑම පාලනය කිරීම යනු ගෝලීය ධනවාදය පාලනය කිරීමකි. ඒ සඳහා බලවත් රාජ්යයන් කිසිසේත් එකඟ නොවේ. ඒ බව කෝපෙන්හේගන් සමුළුවෙන්ද තහවුරු විය.

කෝපෙන්හේගන් සමුළුව යනු ප්රථම පරිසර සමුළුව නොවෙයි. මීට පෙරත් සමුළු ගණනාවක් පැවැත්වීය. මෙම කිසිම සමුළුවකදී තිරසාර පරිසර ප්රතිපත්තියකට එකඟ නොවීය. මෙවර සමුළුවේ විශේෂත්වය වන්නේ සුළු හෝ ක්රියාදාමයක්වත් ක්රියාත්මක කිරීමට එකඟ නොවීමයි. වෙනත් සමුළුවලදී සුළු සුළු ක්රියාකාරකම්වලට එකඟ විය. ලෝකයේ න්යෂ්ටික අවි පාලනය කිරීමට එකඟ වීම එවැනි එක ක්රියාකාරකමකි. මෙවැනි එකඟ වීම් තිරසාර ප්රතිපත්ති හෝ විසඳුම් නොවේ. එවැනි එකඟ වීම් මගින් පරිසරයේ ජීවය ආරක්ෂා කිරීමටත්, උත්පාදනය කිරීමටත් නොහැකිය. එහෙයින් තිරසාර පරිසර ප්රතිපත්තියක් පේනතෙක් මානයක නැත.

ලෝකයේ කිසිම බලවතෙක් තිරසාර පරිසර ප්රතිපත්තියක් පිළිබඳව අවධානය යොමු කොට නැත. කිසිම ව්යවස්ථාවක පැහැදිලි පරිසර ප්රතිපත්තියක් සඳහන්ව නැත. ඇතැම් ව්යවස්ථාවල පැලැස්තර ප්රතිපත්ති සඳහන් ඇත. ව්යවස්ථානුකූල පරිසර ප්රතිපත්තියක් ක්රියාත්මක කරන්නේ නම් සිදුවන්නේ කුමක්ද? ධනවාදී ආර්ථික ක්රමය බිඳ වැටීමයි. ස්වභාවික සම්පත් සූරාකෑමෙන් තොරව ධනවාදය ද නොපවතී. ධනවාදය ආරක්ෂාවීමේ ග්රාමික බලවේගය ස්වභාවික සම්පත්ය. තිරසාර පරිසර ප්රතිපත්තියකට එකඟ වුණොත් පරිසරය සූරා කෑම පාලනය වන්නේය. පරිසර සූරාකෑම පාලනය වීම යනු ධනවාදී ආර්ථික ක්රමය පාලනය වීමයි. අඩාල වීමයි. ලෝක බලවතුන් පරිසර ප්රතිපත්තිවලින් ලිස්සා යන්නේ මෙම තත්ත්වය දන්නා බැවිනි.

ලෝක පරිසර කාබාසිනියාව ලංකාවටද පොදුය. 60 වසරක ශ්රී ලංකාවේ තත්ත්වය සලකා බැලුවොත් මෙරට ආර්ථිකය ධනවාදයට මුක්කු ගැසුවේය. සුළුතර පිරිසක් සමාජවාදය ගැන සිහින මැව්වේය. නමුත් දිගින් දිගටම ක්රියාත්මක වන්නේ දිළිඳු ධනවාදයයි. දේශීය වෙළෙඳපොළ, ලෝක වෙළෙඳපොළ සහ පරිසරය මැනවින් ජයගත හැකි නවතම ආර්ථික ප්රතිපත්ති සම්පාදනයක සේයාරුවක්වත් නැත.

ලංකාවේ පරිසර බලධාරීන් අපිට හොඳම පරිසර පද්ධතියක් ඇතැයි උදම් ඇනුවත් මෙරට පරිසරයද උග්ර අර්බුදවලට ලක්වෙමින් පවතී. උත්කර්ෂවත් උත්සව, වැඩසටහන් පැවැත්තුවත් තිරසාර පරිසර ප්රතිපත්තියක් හඳුන්වාදීමට අපොහොසත් වී ඇත. හොඳම නිදසුන ජනාධිපතිවරණයයි. කිසිම අපේක්ෂකයකු පරිසරය පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකරයි.

ශ්රී ලංකාවට මුහුණපෑමට නියමිත අනාගත දේශගුණික තත්ත්වයන් පිළිබඳව බලධාරීන් නිහඬය. 2030 වනවිට ලංකාව පිහිටා ඇති කලාපයට වැස්ස 15% ක් අඩුවීමේ ප්රවණතාවක් ඇත. පරිසර බලධාරීන් අල්පමාත්ර වශයෙන් හෝ ඒ පිළිබඳව අවධානය යොමු කර නැත. ජල යෝජනා ක්රම, වෙනත් ව්යාපෘති ආරම්භ කිරීමේදී දේශගුණික තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීම සාමාන්ය තත්ත්වයකි. නමුත් ලංකාවේ එබඳු තත්ත්වයක් කොහොමටවත් ක්රියාත්මක නොවේ. ඕනෑම කෙනකුට ඕනෑම තැනක තමන්ගේ සිතැඟි පරිදි ඉදිකිරීම් කිරීමට අවස්ථාව දී ඇත. වන සංහාර පාලනයට සුළු සුළු නීති තිබුණ ද දේශපාලනික මැදිහත්විම් නිසා එම නීති ක්රියාත්මක වන්නේ සුළුවෙනි. දේශීය සහ විදේශීය මට්ටමෙන් තිරසාර පරිසර ප්රතිපත්ති පිළිබඳව නිද්රdශීළීය. පරිසර කාබාසිනියාවටම දොර විවෘත කර ඇත.

කෝපෙන්හේගන් සමුළුව පැවැති සමයේදී සමුළු පිළිබඳව ජනතා විශ්වාසය භංග වී ඇති බව තහවුරු විය. ඩෙන්මාර්කයේත් වෙනත් රටවල්වලත් සමුළුවට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණ ක්රියාත්මක විය. පරිසර සංවිධාන, සමාජ සේවා සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන සහ පුද්ගලික වශයෙන් ද ඊට සම්බන්ධ වූහ. කිසිම පරිසර සමුළුවකදී තිරසාර පරිසර ප්රතිපත්තියකට එකඟ නොවූ නිසා පරිසර සමුළු පිළිබඳව ජනතා විශ්වාසය භංග වී ඇත. ලෝක නායකයන්a රැස්ව, කාබී, සතුටු සාමීචීයෙහි යෙදී විනෝද වී ඇත. පරිසර කාබාසිනියාව අඛණ්ඩව සිදුවේ.

මෙම සමුළුව පැවති දින කිහිපයේදී ගෝලීය වශයෙන් මතු වූ උද්ඝෝෂණවලට අනුව අනාගතයේදී රජයන්ට අත්තනෝමතිකව ක්රියාත්මක වීමට ඉඩ ප්රස්ථාව ඇහිරෙන්නේය. පාරිසරික උද්ඝෝෂණ ක්රමක් ක්රමයෙන් වර්ධනය වීමේ ප්රවණතාවක් ඇත. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්ය. පාරිසරික සංවිධාන තිරසාර පරිසර ප්රතිපත්තියක් වෙනුවෙන් පෙනී නොසිටියි. ලාංකේය ජනතාවද පරිසර ප්රතිපත්තීන් ඉල්ලා උද්ඝෝෂණය කළ යුතු කාලය එළඹ ඇත. මෙම තත්ත්වයන් තුළ අනාගත දේශපාලන, ආර්ථික තත්ත්වයන් වෙනස් කිරීමේ ග්රාමීක බලවේග බවට පාරිසරික උද්ඝෝෂණ පත් වන්නේය.

කෝපෙන්හේගන් දේශගුණික සමුළුවෙන් පරිසරයට ඇතිවූ වාසියක් නැත. ප්රතිඵල රහිත තවත් සමුළුවක් පමණක් විය. තිරසාර පරිසර ප්රතිපත්තියකට එකඟ වීමට ලෝක නායකයන් සූදානම් නැත. සුපුරුදු පරිදි පරිසර කාබාසිනියාවට සියලු අවකාශයන් විවෘතව පවතී. මානව සංහතියේ සහ සියලු සත්වයන්ගේ හිත සුව පිණිස තිරසාර පරිසර ප්රතිපත්තියක් ක්රියාත්මක කරවීමට අපි උද්ඝෝෂණය කළයුතු වෙමු. අපගේ අනාගත පැවැත්ම තීරණය වන්නේ අප ක්රියාත්මක වන ආකාරය අනුවය.

බටුවංගල සමිද්ධි හිමි