Wednesday, October 21, 2020

පණ්ඩිත උපාසක සීයා , අභිධර්මය සහ නව බෞද්ධ ආගම්

ගාල්ලේ හබරකඩ පිරිවෙනේ ඉගෙනගන්නා කාලයේදී පිරිවෙන සවස 5 ට පමණ අවසන් වූ විගස සම වයසේ අයත් සමග ගිං ගඟේ පීනන්ට යෑම පුරුද්දක් විය. එතකොට මගේ වයස 14 ක් පමණ ය. දවසක් පීනන්නට යන අතර තවත් යහළුවෙකු එනතුරු අපි පාරේ ඉසුළුවිසුළු කරමින් සිටියෙමු. මා සමග සිටි අනෙක් යහළුවන් ඔන්න පණ්ඩිත සීයා එනවායයි කියමින් ඒ අසල තිබූ බෝක්කු පාලම යටට ගොස් සැඟවූයේ ය. මට කිසිවක් කරකියා ගන්න නොහැකි වූ බැවින් එතනම සිටියෙමි. ගමේ මිනිස්සු උපහාසයට මෙන් පණ්ඩිත සීයායයි හැඳින් වූ අභිධර්මය සහ බෞද්ධ කථා ගැන නිතර අනෙක් අයට විස්තර කරන මහළු පුද්ගලයෙක් විය. ඔහු අප වෙත එන දුටු කොල්ලන් සැඟවුනේ පැය ගනණක් වුණත් කථාන්දර කියවන ඔහුගෙන් බේරීමක් නැතිය යන්න විශ්වාස කරන බැවිනි. මා වෙත පැමිණි එම සීයා වැඳීමට සුදානම් වනවිට පාරේ මඩ තිබෙන නිසා වඳින්න එපා යයි කිව්වෙමි. එවිට ඔහු කියා සිටියේ; දීපංකර බුදුන් දවස සුමේධ තාපස තෙමේ මඩවගුරක ඒ දණ්ඩක් මෙන් වැතිර බුදුන්ට වැඩීමට සැලැස්සූ බවයි. එම කථාව ඇසුණු පාලම යට සැඟ වී සිටි කොල්ලන්ට හිනාගියේය. සීයාට කේන්ති ගියේය. මෝහ මූලික මනස් ඇති මෝඩයන්ට ඔවා තේරෙන්නේ නැතැයි සීයා ආවේගයෙන් කීවේය. කොල්ලන් හූ කීවේය. සීයා කේන්තියෙන් හාමුදුරුවො මොකටෙයි ආවේලාවේ කොල්ලොත් එකක් යන්නේ යයි කියමින් යන්නට ගියේය.


මේ කතාව මට මතක් වෙන්නෙ කාල වකවානු දෙකක සමාජ වෙනස තේරුම්ගනිමින්ය. මේ සිද්ධිය අවුරුදු 20 කට පමණ පෙර සිදු වූවකි. ආගමික මතයක් ඕනවට වඩා කරටගත් මිනිසුන් උපහාසයට ලක්වීමත් එවක විය. නමුත් දැනට පවතින වෙනස නම් මෙවැනි පුද්ගලයන් කෙසේ වෙතත් එවැනි ආගමික මතවාදයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කොට ඉක්මණින් පිරිසක් එකතු කොට කණ්ඩායමක් නිර්මාණය කිරීමේ හැකියාවයි. එවැනි නව බෞද්ධ කණ්ඩායම් බහුලව ඇත.


නව බෞද්ධ ආගම් පැවති සම්ප්‍රධායික ආගමික වටපිටාව තරම් සරල නොවේ. පංසලට ගොස් මලක් පහනක් පූජා කොට හාමුදුරුවොත් සමග සතුටු සාමීචියේ යෙදීම වැනි සමාජමය සම්බන්ඳතාවයක් අපේක්ෂා නොකෙරේ. තදින් අල්ලාගත් ආගමික විශ්වාසයක් ඇත: එය ඉක්මණින් මාර්ගඵල ලැබීම විය හැකිය. අධි මානූෂීය බලයන් විශ්වාස කිරීමක් විය හැකිය. නැතිනම් නැවත ඉපදීම, අපාය ආදිය පිළිබඳ බියගැන්වීමක් වියහැකිය. නිර්මාංශ වීම වියහැකිය. බුද්ධාගම ආරක්ෂා කරගැනීම වියහැකිය. අඩුම තරමින් බුදුන් උපන්නේ ලංකාවේ යයි විශ්වාස කිරීමක් විය හැකිය. එක ආගමික විශ්වාසයකින් මනස මෙහෙයවයි. සම්බන්ධවන අය වේගයෙන් එම ආගමික විශ්වාසයෙන් මනස සොදාහැරීමක් (Brain wash) කරගැනේ.මෙය කුඩා පිරිසක් වටා වේගයෙන් බෝවන සුළුය.

 

සැම කණ්ඩායකටම නායකයෙක් සිටියි. භික්ෂුවක් හෝ ගිහියෙක් විය හැකිය. භික්ෂූන් නම් බහුලව පෙනී සිටින්නේ අරණ්‍යවාසී ලෙසය. මෙය සමාජයේ මතයක් වන අරණ්‍යවාසීන් සිල්වත්ය යන්න භාවිතා කිරීමක් විය හැකිය. රහත් වූවායයි කියන, හිමාලයේ සිට ආවායයි කියන, මහාප්‍රාතිහාර්ය පානවායයි කියන ගිහි, පැවිදි පිරිස් යූ ටියුබ් චැනල් ( Youtube) හරහා හතු පිපෙන්නාක් මෙන් මතුවෙති. ඔවුන් පෙනී ඉන්නේ කණ්ඩායක් ලෙසය. සුදුවතින් සැරසුණු නිවේදකයෙකු සහ හිස මුඩුකරගත් දුබුරු පැහැ සිවුරකින් සැරසුණු භික්ෂුවක් කණ්ඩායමේ මූලික රංගනයේ යෙදීම සුලභය. "හරි සිල්වත්, හරි හොඳයි, මාරයි, පට්ට, මාර කථාවක්-බණක්" වැනි භාෂාත්ම යෙදුම් මගින් ඔවුන් උත්කර්ෂයට නන්වති.

සමාජයේ සිවිල් බලයක් හිමි අයගෙන් ද ඔවුන් අනුග්‍රහය ලබති. දේශපාලඥයන්, නීතිඥයන්,ඉංජිනේරුවරුන්, මහාචාර්යවරු ද ඒ අතර වෙති.

කණ්ඩායම් අතර ගැටීම, තරඟය ද විශේෂ කොටසකි. ගැටීම සහ තරඟය තුළ තම ශ්‍රාවකයන් උත්තේජනය කරවයි. හතුරා, විරුද්ධවාදියා සිටින විට "තමන්ගේ කණ්ඩායම සහ අනෙකා" තදින් හදුනාගනියි. එවිට තමන්ගේ කණ්ඩායමට උනන්දුවෙන් ආධාර කරයි. එම ශ්‍රාවකයන් යනු කිහිප ආකාරයකින් උත්තේජනය වී ආධාර කරන පිරිසයි.


බුදු දහම ආරම්භයේ සිටිම විවිධ කුඩා කණ්ඩායම් ලෙස බෙදුන බවක් පෙනේ. ආනන්ද, උපාලි, මහා කාශ්‍යප සැරියුත් යනු එකිනෙකාට ආවේනික වූ අන්න්‍යතා සහ ධර්මය විශේෂ පැතිකඩකින් විග්‍රහ කළ චින්තන කණ්ඩායම්ය. නිදසුනක් ලෙස ආනන්ද හිමි වඩාත් සමාජ දර්ශනය මත ධර්මය විග්‍රහ කළ අතර උපාලි හිමි විනය මත පිහිටා ධර්ම විග්‍රහ කළහ. ශතවර්ෂ ගණනාවක පටන් විවිධ අන්න්‍යතා සහ විශේෂ ධාරාවන් මත ලොකු කුඩා කණ්ඩායම් බිහිවීම බුදු දහමේ පවතින ප්‍රජාතන්ත්‍ර සහ නිදහස් බව කියාපායි. ලංකාවේ පන්සලක් පන්සලක් පාසා, ආරණ්‍යයක් ආරණ්‍යයක් පාසා පිළිවෙල සහ පිළිවෙතවෙනස්ය.

ලංකාවේ මතුවන නව බෞද්ධ කණ්ඩායම් සමාජයේ යහපත පිණිස කටයුතු කිරීමකට වඩා දැඩි ආගමික මතයන් හිසමතට දමා මුදල් ඉපයීමක නිරත වන බවක් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ප්‍රචාරයන් සාර්ථක බව පෙනේ. 

නැවත වටයකින් ප්‍රශ්න කිරීමට අප පෙළඹිය යුතු නොවේද?

 

විශ්‍රාම ගියපසු හෝ වයසට පත් වූ විට වැඩක් නැතිකමට අභිධර්ම ක්ලාස් ‍යෑම, උපාසක චරිතයකට මනස හැඩගැසීම සමාජ සංස්කෘතිය හරහා සිදුවන මානසික පෙළබීමක් විය හැකිය.


මේ වන විට ටයි කෝට් දා ගත් ලීසිං කොම්පැණිවල වැඩකරන උදවිය, ශොෆ්ට් වෙයර් ඉංජිනියර්ස් ලා, වෙනත් නවීන රක්ෂාවල නිරත තරුණ තරුණියන් අත්බූත, ගූඪ දේවල් වටා රොක්වීම තේරුම් ගන්නේ කෙසේද?


සාක්ෂරතාවය ඉහල මට්ටමක තුබුණත් ඔවුන්ගේ පරිකල්පන හැකියාව දුර්වල වී ඇති නිසාද?

අපිළිවෙලට නමුත් පහත ආකාරයටද ප්‍රශ්න කිරීම දිගු කළ හැකිය.

ගෞතම බුදුන් වහන්සේ ඉගැන් වූ දුක හෙවත් තමන්ගේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගැනීමට ඔවුන් ආත්ම විශ්වාසය වැඩි කරගන්නේ ද?


ප්‍රශ්නයේ හේතු හදුනාගැනීමේ සිතීමේ ශක්තිය වර්ධනය කර ගන්නේ ද?


කරුණාව, මුදිතාව වැනි අධ්‍යාත්මික හැකියාවන් හෙවත් කුසලයන් වැඩි කරගන්නේ ද?


නැතිනම් අපාය, දිව්‍යලෝක, ඊලඟ භවය ගැන සිතමින් බිය වී මනස සෝදා (brain wash) ගන්නේ ද?


තවත් මෙසේ ප්‍රශ්න කළ හැක:


ආගමික පූජකයන් මරණින් පසු අපට ලැබෙන දිව්‍ය ලෝකය පෙන්නා ඔවුන්ගේ මොලොව ජීවිතය දිව්‍යය ලෝකයක් කර ගන්නේ ද?


අපි රහතෙක් යයි කියන්නේ මානසික රෝගියෙකුට ද නැතිනම් අපගේ ආගමික හැඟීම අවභාවිතා කරන වංචාකාරයෙකුට ද ?


අනෙත් කෙනා රහත් යයි කියන්නේ අපිට පිස්සු නිසාද ?


වෙනත් අය ප්‍රාතිහාර්යය පෑවට අප මොකටද?


චෛත්‍යවලින් රැස් බැලීමේ ආශාව කවර මානසික රෝගයක් ද?


අනෙක් කෙනා සිල්වත් වුණත්, දුසිල්වත් වුණත් අපිට මොකද?


සිල්වත්, දුසිල්වත් ලෙස මිනිසුන් මැණීම සදාචාරාත්මක ද?


ආගම දහම භාවිතා කළ යුතු වන්නේ සුවපත්වීම පිණිස නොවේ ද?


මෙවැනි ප්‍රශ්න අපි අපෙන් නිතර ඇසිය යුතුය. සිහිය එළෙඹෙන්න්නේ එවිටය. බුදුහු මෙසේ දෙසූ බව කියවේ; විමසන්න, මම බුද්ධ යයි කියූවිට එකවරම නොපිළිගෙන විමසන්න. විමසීම සිහිය ඇති කරවයි. සිහිය ඇති කෙනා තම්න්ගේ ප්‍රශ්න හදුනාගනියි. නිදහස් වේ.

Wednesday, May 27, 2020

වරද කිරීම ද වරද? නැතිනම් සමාව නොගැනීම සහ සමාව නොදීම ද වරද?



වරද කිරීම ද වරද? නැතිනම් සමාව නොගැනීම සහ සමාව නොදීම ද වරද?

සමාවගැනීම මදිපුංචිකමක් හෝ අවමානයක් ලෙස සැලකීම අපේ සමාජයේ පවතින විශ්වාසයකි. සමාවනොදීම දඬුවමක් ලෙස විශ්වාස කරයි.

මේ පිළිබඳව පැරණි ආගමික සංස්කෘතීන් විශේෂ අවධානය යොමුකළත්, බහුතර නූතන ආගමික කොටස් සැලකිලිමත් වන්නේ ආගම රැකීම, දිව්‍යලෝක සම්පත් වැනි දේවල්ය. නමුත් මනෝවිද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් ඒ ගැන සැලකිලිමත්ය. සමාවගැනීම සහ සමාවදීම අතරතුර මොළයේ ඇතිවන වෙනස්කම්ගැන පර්යේෂණමය ප්‍රතිඵල ප්‍රසිද්ධ වී ඇත.

වැරදිම් සිදුවීම, සමාවගැනීම, සමාවදීම මානව ශිෂ්ටාචාරයේ අත්පත්කරගත් සුවිශේෂ ආචාර ධර්මයන්ය.  

ඒවා ආචාර ධර්ම පමණක් ද? නැතිනම අප සුවපත් කරවන දෛනික අභ්‍යාසයන් ද?

මේ ගැන කථා කරමු, භාවනා කරමු

ජුනි මස 5 වන සිකුරාදා එනම් පොසොන් පොහෝ දින සවස 4:00 5:00 දක්වා Zoom මගින් මෙම භාවනාමය වැඩසටහනට සම්බන්දවිය හැක.(ජර්මනියේදී නම් 12:30 සිට 13:30 තෙක්)

ඔබත් සහභාගීවීම කැමතිනම් මට ලියන්න:
 
vensamiddhi@gmail.com
0049228 96491853
බටුවංගල සමිද්ධි 

Friday, May 8, 2020

සුවපත්වීම පිණිස එක බුදු කෙනෙක් මදි



"ඉගැන්වීම යනු වචන පමණක් නොවේ. ඉගැන්වීම යනු කෙනෙක් ජීවත් වන කලාවයි. මගේ ජීවිතය යනු මගේ ඉගැන්වීමයි. මගේ ජීවිතය යනු ආත්මීය සම්බන්දතාවයි." 
තිෂ් නතාන්(Thich Nhat Hanh) 



 
මගේ වයස අවුරුදු 7 ක් හෝ 8 ක් පමණ කාලෙදි හිම සහිත බුදු පිළිමයක් දැක්කා. මගේ හදවත පිනාගියේ තණ පඳුරු අතරින් බුදු හිමිගේ සාමකාමී බව දැකීමෙනි. මම හිතුවා කලාකරුවා කොතරම් නම් සාමකාමී සහ නිසසල හදවතක් ඇති කෙනෙක් ද මෙවැනි ගුණයන් නිරූපණය කරන්න. එකල මම ජීවත් වූ වියට්නාමයේ ඉතා බිහිසුණු වටපිටාවක් තුළ, බුදු පිළිමය දෙස බලාසිටීම සතුටක් ඇතිකරවීමට අස්වැසිල්ලක් වුණා. මෙසේ බුදු පිළිමය දෙස බලාසිටීමෙන් මට බලාපොරොත්තුවක් ඇති වුණා බුදු හාමුදුරුවෝ වගේ වෙනවයි කියලා.
( Thich Nhat Hanh;Mein Leben ist meine Lehre, s.25)

ඔබ තවත් කෙනෙකුට සැබවින්ම ආදරය කරනවා නම් සැලකිලිමත්වන්න එම කෙනා ඔබගේ අදහස්, වචන සහ ක්‍රියාවෙන් සතුටු වෙනවාද කියලා. අනෙක්කෙනා සතුටු නැතිනම් ඔබ ඔබ ගැන , ඔබගේ හෘද සක්ෂිය ගැන බරපතල ලෙස පරික්ෂා කරබැලිය යුතු බව තිෂ් නතාන් හිමියෝ කියති.

අප තුළ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපෙක්ෂාව පුහුණු කරන්න ඉගෙනගන්නවා නම් කේන්තිය, ඉර්ෂියාව, බිය, අදී දුක් දොම්නස් වලින් සුවපත් වෙන්න පුළුවන්. එම ගුණයන් මනුස්සයන්ගේ හැකියාවන්ය. කිසිඳු භේදයකින් තොරව ප්‍රගුණ කළ හැකි මනුස්ස ගුණයෝය. අවංකවම තමන්ට සහ අනුන්ට ආදරය කිරීම ආරම්භ වන්නේ එම ගුණයන් මගිනි
( Thich Nhat Hanh; Nimm das Leben ganz in deine Arme, s.8-9)


ඉහත උපටාගැනීම්වලින් තෙරුම්ගන්න පුළුවන් තිෂ් නතාන් කවුද කියලා. වියට්නාමයේ පැවිති යුද්ධය නිසා 1968 දී යුරෝපයට සංක්‍රමණය වූ වියට්නාම සෙන් බෞද්ධ භික්ෂුවක් වන තිෂ් නතාන් හිමියෝ ජීවමාන බුදු හිමියන් ලෙස හදුන්වන්නේ අතිශෝක්තියෙන් නම් නොවේ. ඒ උන්වහන්සේගේ ජීවත්වීම සහ ඉගැන්වීම අතර දෝලනය වන පරමාදර්ශීකම නිසාය. යුද්ධය පැවිති කාලයේදී වෛරය තොරානොගත් තිෂ් නතාන් සැබෑ සාමයක් සඳහා මැදිහත් විය. ඒ නිසාම මාටින් ලූතර් කිං විසින් නොබෙල් සාම ත්‍යාගය සඳහාද උන්වහන්සේගේ නම යෝජනා කර ඇත.


ප්‍රංශය නිජබිම බවට පත් වූ විට උන්වහන්සේගේ පෞරුෂය ගොඩනැගෙන්නේ අධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙසය. බුදු දහම සහ එහි අධ්‍යාත්මික අභ්‍යාස ප්‍රයෝගිකව උගන්වන ගුරුවරයා ඔහුය. උන්වහන්සෙගේ සෑම පොතකම, දේශනයකම ප්‍රකාශ වන්නේ උන්වහන්සේගේ අත්දැකීම්ය. එහෙයින් තිෂ් නතාත් සමීපව ඇසුරකර නැති මට ඔහුව දැනෙන්නේ කලණ මිතුරෙකු ලෙසය. නිහඩව ජීවිතයෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් 93 වන වියේ පසුවන තිෂ් නතාන් ගැන ලියන විට මගේ අතින් "හිමිපාණන්", "නාහිමියෝ" " අති උතුම්" වැනි බොරුව තවරාගත් ආගමික වචන නොලියවේ. මන්ද යත් නිෂ් නතාන් බුදු දහම දෙසු කෙනෙක් නොව ජීවත් වූ කෙනෙකු නිසාය. එවැනි උතුමන් නිහතමානී වේ. කුඩා දරුවන් වැනිය. අපි සැබවින්ම ආදරය කරන්න පටන් ගන්නේ එවැනි පුද්ගලයන්ටය.


සතිය පුහුණු කිරීම තමයි උනවහන්සේගේ ප්‍රවේශය. ආහාරගන්නා විට ආහරය දෙස බැලීම, එහි සුවඳ විඳදරාගැනීම, කෘතවෙදීව සිහියෙන් ආහාරගැනීම සිහිය ඇති වේ. සිහිය යනු අපසතු බලයකි. එය අපගේ ශරීරය, වේදනාවන්, මනස, මනසේ බලපැවැත්වෙන දේවල් සහ අපගේ විඤ්ඤාණය පරීක්ෂාකරබැලීමට ඇති බලයකි.
( Thich Nhat Hanh; Nimm das Leben ganz in deine Arme, s.21)



සිහියෙන් අන්තර්පැවැත්ම අවබෝදකරවීම උන්වහන්සෙගේ පුහුණුවේ කොටසකි. අපි සහ පරිසරය අතර පවතින සම්බන්දය තේරුම්ගෙන කෙළෙහිගුණ, කෘතඥතාවය දියුණු කිරීම සුවපත්වීමට හේතුවන බව පෙන්වාදෙයි.
හේතු-ප්‍රත්‍ය ධර්මයට අනුව දෙයක් පවතින්නේ තවත් හේතූන් සහ ප්‍රත්‍යන් නිසාය. අන්තර්-සම්බන්ධතාවය අලංකාරමත් කාව්‍යාත්මක භාෂාවෙන් ප්‍රකාශකරයි.

"ඔබ කවියෙක් නම් තෙරුම්ගනීවි ඔබ ඇතැති කොලය වළාකුලකින් පා වී ආ බව. වළාකුළුවලින් තොරව වැස්ස නොපවතී. වැස්ස නැතිව ගස් නොවැඩේ. ගස් නැතිව කොල නිෂ්පාදනය කළ නොහැක. වළාකුළුවල පැවැත්ම කොල ඇතිවීමට හේතු වේ. වළාකුළුවලින් තොරව කොල නොපවතී. එහෙයින් වළාකුළු සහ කොල අතර අන්තර් සම්බන්දයක් ඇත „
(Thich nhat hanh,The Heart of Understanding). 

දහමක් යනු තර්ක කරන දෙයක් නොවේ. එය අනෙකා අභියෝගයට ලක්කරන ආයුධයක් ද නොවේ. තමන්ගේ නැති ගුණ පෙන්වන රැවටීමක් ද නොවේ. දහම යනු අපගේ ආත්මීය සම්බන්දතාවයයි. අපි සුවපත් වන ආත්මීය සම්බන්දයයි. ආත්මීය සන්බන්දතාවය යනු අප අවංකව ජීවත්වන ආකාරයයි. ජීවත්වන ආකාරය විවිධය. මෙය එක දහමකින් හෝ එක ගුණයකින් සිදු නොවේ. දහම් රාශියක් අවශ්‍යය. ගුණයන් හෙවත් හැකියාවන් රාශියක් අවශ්‍යය. එම දහම්, හැකියාවන් බුදු වරුන්ය. අපට කුඩා බුදු කෙනෙක් නිතර හදවතේ සොයාගැනීමට හැකිය. නමුත් එක බුදු කෙනෙක් මදි බව තිෂ් නතාන් කියයි. බුදුවරු ගොඩක් අපි සොයා ගතයුතුය සුවපත්වීම පිණිස.


බටුවංගල සමිද්ධි
 



 
 

Monday, April 27, 2020

ආත්මාර්ථකාමී ආදරය සහ පරිණත ආදරය

Seine grossen Bücher hat Erich Fromm unter dem Eindruck persönlicher Erfahrungen geschrieben (Aufnahme aus dem Jahr 1974).පරිණත ආදරය කියනු ඇත්තේ;

 මා හදවත ආදරයෙන් වෙලී ඇති බැවින් මම ඔබට ආදරය කරමි.මට ඔබ අවශ්‍යයි මන්දයත් මම ඔබට ආදරය කරන බැවිනි.
 
ආත්මාර්ථකාමී ආදරය කියාපානුයේ

 මම ඔබට ආදරය කරමි මන්දයත් මගේ හදවත ආදරයෙන් වෙලි යනු ඇත. මම ඔබට ආදරෙයි මන්දයත් මට ඔබ අවශ්‍ය බැවිනි
Erich Fromm, (1956) Die Kunst des Liebens 

එරික් ෆ්‍රොම් යනු අප ජීවත්වන යුගයේ දේශපාලන, සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඉතා ප්‍රබල බලපෑමක් ඇති කළ මනෝවිශ්ලේෂකයාය. ඔහුගේ විශේෂත්වය නම් තම අත්දැකීම්වලින් මනෝවිශ්ලේෂණ ක්‍රමවේදය හදුන්වාදීමය. ජාතිකවාදය නොහොත් නාසිවාදය, දෙවන ලෝක යුද්ධය මානව සංහතියට කළ ප්‍රබලතම නිගාව බව අවබෝද කරගත් ප්‍රගතිශීලී කොටස් ඒ දැවැන්ත විනාශයට උත්තේජනය සැපයූ හේතූන් සහ යහපත් සමාජයක් වෙනුවෙන් කළ යුතු දේවල් ගැන සැලකිලිමත් වූ හ. ෆ්‍රොම් ඒ අතර ප්‍රමුඛයෙකි

ජාතිකවාදය, හමුදාපාලනය, ආගම්වාදය, ඒකාධිපතිවාදය තවමත් හොල්මන් කරන 21 වන සියවසට ඔහුගේ විශ්ලේෂණයන් වලංගුය. මේ නිසාම ඔහුගේ පොත් දැනටත් ලෝකයේ වැඩියෙන්ම අලෙවිවන පොත් අතර වේ. ඔහු අවධාරණය කරන්නේ මිනිසාගේ මූලික ගැටළුව උපත මත නොව, ලබන අධ්‍යාපනය කෙබඳු හැඟීම්,චින්තනයන් සහ ක්‍රියාවන් ඇති කරවන්නේ ද යන්න මත පදනම් වන බවයි. සමාජයේ වගකීම්සහගත පුද්ගලයෙක් ලෙස ජීවත්වීමට උපකාර වන එනම් උසස් පෞරුෂයක් ඇති කරවීමට අධ්‍යාපනය සමත් විය යුතුය. නැතිනම් අනෙකාට ආදරය කරන හැඟීම් ඇති මිනිසෙක් අධ්‍යාපනයෙන් බිහිකළ යුතුය.

අදහස් දැක්වීමට පෙළඹ වූ පසුබිම අනුව මෙය පැහැදිලි කරන්නේ නම්; අපේ අධ්‍යාපනය මගින් ලබා දී ඇති හැඟීම නම් " අපි තමයි හොදම ජාතිය. අපි තමයි ලෝකයේ උතුම්ම අය. ඕනෑම ක්‍රමයකින් අපි බලත්විය යුතුය"වැනි දෙයකි. එහෙයින් අපි නිතරන අනෙකා පහත් කරයි. අනෙකාට අපහාස කරයි. අනෙක් ජාතීන් සහ රටවල හෝ අඩුම තරමින් අසල්වැසියා දෙස සැකයෙන් බලයි. මෙයින් සිදු වී ඇත්තේ අප හඳවත තුළ ආදරය අහිමිකරගැනීමයි. මෙම හැඟීම් අහිමි වූ මිනිසා යනු නිතර ගැටුම් ඇතිකරගනියි. වෛරයෙන් රෝගියෙක් බවට පත් වේ.


අන් අයගේ හොඳ පිළිගැනීමක් ලබාගැනීමට නම් තමන් තුළ යහපත් ආදරනීය හැඟීම් ඇත්දැයි සොයාබැලිය යුතුය. යම් දෙයක් වෙනත් අයට ඉදිරිපත් කිරීමේදීත්, අලෙවි කිරීමේදීත් හදවතට එකඟ විය යුතුබව පෙන්වා දෙන්නේ වෙලඳපොළකරණය තුළ මිනිස් ගුණයන් අහිමිවෙමින් පවතින බැවිනි. හැඟිම්වලින් තොරව තම කාමුක අවශ්‍යතා වෙනුවෙන් හෝ වෙනත් සමාජ උසස් බව පෙන්වීමට හෝ මුදල් වත් පොහොසත් කම්වලට ගිජුකමින් පෙන්වන ආදරය නූතන සමාජයන්හි ද සුලභය.

ආදරනීය හැඟීම් සමග ජීවත්වීම හැකියාවකි. එය පුහු රඟපෑමක් නොවේ. තම හැඟීම් සහ සිතුවිලි පිළිබඳ සංවේදීවීමෙන් ආදරනීය හැඟීම් ජනිත වේ.

පරිණත ආදරය ඇස් විවෘත කරවයි. එය වචන වලින් කියාපෑමට අසීරුය. නමුත් යන්තමින් එම හැඟීම් මෙසේ ප්‍රකාශ කළ හැක: මා හදවත ආදරයෙන් වෙලී ඇති බැවින් මම ඔබට ආදරය කරමි.මට ඔබ අවශ්‍යයි මන්දයත් මම ඔබට ආදරය කරන බැවිනි.

අපි එකිනෙකට වෙලී ජීවත්වන මිනිස් පවුලකි. අපි තනියම කළායයි විශ්වාස කරන බොහෝ දේ සඳහා තවත් බොහෝ දෙනෙක් සහභාගී වී ඇත. නිරෝගීමත් හැඟීම් ජනිත වන්නේ මෙම අන්තර් සම්බන්දතාවය දැකීමත්, සියලු භේද දුරු කොට මිනිසා ගැන යහපත් හැඟීමෙන් කටයුතු කිරීමෙන්ය.

 

Thursday, March 26, 2020

බියවීමෙන් සහ බිය කිරීමෙන් කොරෝනාවලින් බෙරීමට හැකිද ?

මට වෛරස් හෝ ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳව අධ්‍යාපනයක් හෝ විශේෂඥ දැණුමක් නොමැත. එහෙයින් මිනිසුන් කළයුතු දේ සහ නොකළ යුතු දේ ගැන උපදෙස්දීමට මට අයිතියක් ද නැත. කොරෝනා වෛරසය සම්බන්දයෙන් කළ යුතු දේවල් මම ලබාගන්නේ මම ජීවත්වන රටේ ඒ පිළිබඳ විශේෂඥ ආයතනය වන Robert Koch-Institut ආයතනයෙනි. නිකුත් කොට ඇති උපදෙස් උපරිමයෙන්ම පිළිපදිමි. ඒ හැර පූජකයන්, කට්ටඩියන්, නක්ෂත්‍රකරුවන්,හස්ත රේඛා කරුවන්, ගොඩේ බෙහෙත් කියන්නන් හෝ වෙනත් ආතභූත පිරිස් කියන දේවල් පිළිනොගනිමි. ඕනෑම රටක සෞඛ්‍ය අංශ අමාත්‍යංශ ලෙස පිහිටුවා ඇත්තේ ජනතාව ඒ පිළිවඳව දැනුවත් කිරීමටය. එහෙයින් සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමග සම්බන්දය.මම අධ්‍යාත්මික ගුරුවරයෙකි. එහෙයින් මගේ වගකීම වන්නේ මිනිස්සුන්ට ඇඳිරිනීතියේදී කළයුතු, නොකළ යුතු දේවල් හෝ කොරෝනාවලට කළයුතු දේ ගැන තර්ජනය කිරීම හෝ උපදෙස්දීම නොවේ. මට කළහැකි දේ නම් මිනිසුගේ මනස සුවපත් කිරීමය. මේ ලිපිය ලිවීමට අදහස් කළේ ද අවශ්‍ය කෙනෙකුට කියවා අවබෝදයක් ලබාගෙන සුවපත්වීමටය.
 

සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් බියවීමෙන් හෝ බියට පත්කිරීමෙන් රෝගය පාලනය කිරීම තරයේ විශ්වාස කරන බව ප්‍රධාන මාධ්‍යය සහ විශේෂයෙන් සමාජ මාධ්‍යවලින් පෙනීයයි. Facebook, Whatsap, Viberආදීයෙන් බොහෝ දෙනෙක් විවිධ තර්ජනාත්මක උපදෙස්, භීතිය ඇති කරවන වැරදි ප්‍රවෘත්ති හුවමාරු කිරීම විනෝදාංශයක් කොටගෙන ඇත. ඔවුන් විශ්වාස කරන්නේ එය ජාතිය බෙරාගැනීමේ සමාජ සේවයක් ලෙසය. මෙය කොතරම් නරක තත්වයකට පත්වී ඇද්දයත් මුඛ ආවරණය අත්‍යවශ්‍ය නොවන බවට උපදෙස් දුන සෞඛ්‍ය උපදේශකයන් වන අනිල් ජයසිංහ, පබා පලිහවඩන වැනි අයට එරෙහිව අපහාසාත්මක දේ බෙදා හරිතිඔවුන්ගේ ප්‍රකාශන මෙයින් ශ්‍රවනය කළ හැකිය. ඔවුන් ඉතා වැදගත් උපදෙස් දෙති. නමුත් බිය වූවන් දැන් ඔවුන්ගේ උපදෙස් අභියෝගයට ලක්කරමින් නොසලකා හරිමින් සිටිති.

මෙහිදී ඇතිවන අර්බුදය නම් බියවීමෙන් කළයුතු දේවල් පැහැරහැරීමයි.

බිය වන පුද්ගලයෙකු මුලින්ම අහිමි කරගන්නේ සිහියෙන් කටයුතු කිරීමයි. කළයුතු දේ සහ නොකළයුතු දේ ගැන සිතීමට නොහැකිව කලබලයට පත් වේ. කොරෝනා හැදුනොත් මරණයම තමයි වැනි ප්‍රචාරයන් නිසා නිරෝධානයට බියෙන් සැඟවුණු බවට පුවත් පළවිය.
අනවශ්‍ය බිය ද වසංගත රෝග ඇති කරවන්නකි. බියෙන් සිහිවිකල් වූ කල්හී සෞඛ්‍ය අනාරක්ෂිත ක්‍රමපවා වැරදි ලෙස පිළිපදියි. හොඳම නිදසුන නම් මුඛ ආවරණයයි. මුඛ ආවරණයක් නොමැතිව පිටටයෑම සමාජයේ උදහසට ලක්වන නිසා භාවිත මුඛ ආවරණය කිහිපවරක් භාවිත කරති. මෙයින් රෝගයක් වැළඳීමේ ප්‍රවණතාවය වැඩිය.
එමෙන්ම කොරෝනා ආසාධිතවීම සමාජ අවමානයට හේතුවක් ලෙස සලකන්නට තරම් බීතිය ප්‍රබල විය. උදාහරණයක්: මගේ මිතුරියකගේ (ශිනෝකා) පියා 23 සඳුදා මිය ගොස් ඇත. ඇය ජර්මනියේ සිටින නිසා තාත්තට ඇයගෙන් කොරෝනා ආසාධනය වී ඇති බවට අසල්වැසියන් චෝදනා කොට මරණය පසුදිනම රෝහලේදී පුළුස්සා ඇත. මරණයෙන් ඇතිවන පීඩනයත්, සමාජ අපහාසයත් කොතරම් දුක්බරද යන්න ඇයගේ Facebookඑකේ ලියා ඇත්තේ;
ඒත් ලංකාවෙ ඉන්න මගෙම ජතියෙ සමහර මිනිස්සු( කොරෝනා ගැන මෙලෝ හසරක් නොදන්න නූගත් පිරිසක්) කියනව මම ලංකාවට ඇවිත් තාත්තට කොරෝනා බෝ කරපු හින්ද තාත්ත ඒකෙන් නැති උනේ කියල... මෝඩ මිනිස්සු එක්ක හැප්පිලා ඇත්ත නැත්ත තේරුම් කරල දෙන්න මම මගෙ වටිනා කාලෙ ගන්නෙ නෑ.. මොකද මගෙ තාත්ත මට එහෙම උගන්නල නෑ... මට කියන්න තියෙන්නෙ මම ලෝකයක් තරම් ආදරේ කරන මගෙ තාත්තගෙ ආත්මෙට බොරු චෝදනා, ගැරහිලි කරන්න එපා කියල... එහෙම කරන මිනිස්සුත් කවදහරි ආයෙ නොයෙන ගමනක යනවමයි... දැන් මේ කරන දේවල් එදාට ඒ ගමන යන විඳිහ තීරනේ කරයි…


(මේ ගැන පසුව ලිපියක් ලියමි)


මෙලෙස සමාජ සම්බන්දතාවල බිඳවැටිම්වල වගකීම බියෙන් ජනයා උසිගන්වන්නන් භාරගන්නවා ද?

බිය නිසා සමාජ සම්බන්දතා කොතරම් පළුදු වී ඇද්දයත් විදේශිකයන්ට කාමර දීමට තරම් හොටෙල් හිමියන් බිය වූ බැවින් බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ හෝටලයකින් එළවා දැමූ විදෙස් යුවලක් දින හතරක් කැලෑවේ සිටියදී සොයා ගැනීමට හැකි වූ බවට ලංකාදීපය වාර්තා කරන ලදි.වාර්තාව මෙතනින්

බියෙන් තොර සිහිය ඇති නිරෝගිමත් මිනිසුන් කරන්නේ ප්‍රශ්නයක් ඇති වූ විටෙක තමන්ගේ වගකීම හදුනාගෙන කටයුතු කිරීමයි. රටේ මිනිස්සුට ඕනවට වඩා උපදෙස් දෙන්නන්ට තමන්ගේ වගකීම අමතක වේ. කොරෝනාවලට අවශ්‍ය සනීපාරක්ෂක ක්‍රම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පිළිපැදීම ජනයාගේ වගකීමකි. එසේ නොකරන අය වගකීම්සහගත කරවීම සහ දඬුවම් කිරීම ආරක්ෂක අංශවලට භාරය. පුරවැසියන් එවැනි වගකීම් ගැනීම අර්බුද ඇති කරවයි.

කරුණු පෙන්වාදීමෙන් තමයි අර්බුදයකින් ගොඩයා හැකි වන්නේ

ඕනෑම ප්‍රශ්නයකදී කරුණු පහදාදීම තමයි විශ්ෂ්ටතම ක්‍රියාව. බියගැන්වීම්, තර්ජනය කිරීම්, රංඩුවීම ප්‍රශ්නයකට විසඳුමක් නොවේ.
කොරෝනා ගැන බිය ගන්වන අය විශ්වාස කරන දෙයක් නම් මිනිස්සුට කරුණු කියාදීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවයි. මෙම මානසිකත්වය ඇතිවන්නේ අනෙකා ගැන අවිශ්වාසයෙන්, සැකයෙන් බැලීමට පුරුදු වී ඇති බැවිනි. ඔවුන් අනුන් ගැන තියා තමන් ගැනවත් විශ්වාස නොකරති.

මෙය අපේ සමාජයේ පවතින සමාජ ප්‍රශ්නයකි. සංස්කෘතික ප්‍රශ්නයකි. එකිනෙකාට චෝදනාකිරීමට, සුළු දෙටත් රංඩුවන, පදනම් විරහිත විවේචන ඇති කරවන්නේ මෙම අවිශ්වාසයයි. මෙම මනසිකත්වය වරෙක "අපේ රටෙ මිනිස්සු තමයි ඉහළම ජාතිය" ලෙස රවටාගනියි. තවත් විටෙක "අපේ රටෙ එවුන් තමයි නොහැදිච්චම ජාතිය" ලෙස වෛර කරයි.

මෙවැනි අගතීන්ගෙන් නිදහස්ව කරුණු පැහැදිලි කරගැනීමට සිහිය ඇති කරගැනීම අත්‍යවශ්‍යය. ලංකාව යනු මැලේරියා වසංගතය මුළුමනින්ම තුරන්කරගත් සමාජයකි. ඩෙංගු හොඳින් කළමණාකරණය කරගෙන ඇත. මෙවා කරගෙන ඇත්තේ ජනතා සහභාගීත්වයෙනි. දැණුවත් කිරීමෙනි. ජනතාවට කරුණු තේරෙන ලෙස සන්නිවේදනය කරන්නේ නම් ඔවුන් පිළිගනිති.මෙම විශ්වාසය සමාජයකට අර්බුදවලින් ගොඩ ඒමට අවශ්‍යය.

අනෙක් අය බිය කරන්නන් කියන දෙයක් නම් ඇඳිරිනීතිය ඇතැම්හු උල්ලංගනය කරන බවයි. පෝළිම්වල පොරකන බවයි. ඒ ඇයි?

මිනිසා ගෙයකට කොටුකරතැබීම පහසු දෙයක් නොවේ. විවිධ ජනයාගේ මානසිකත්වය වෙනස්ය. එය ඇතැමෙකුට කළ හැකිය. තවත් කෙනෙකුට අපහසුය. ඇඳිරිනීතිය කාලයේදී ගෘහස්ථ හිංසනය හා කෲරත්වය වැඩි වී ඇති බවට ළමා ආරක්ෂණ අධිකාරිය ද නිවේදනය කොට ඇත. ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසා ඇත. ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් අපයෝජකයා සහ වින්දිතයා වන දරුවන් ද නිවසට කොටුවී සිටීම මෙයට හේතුවක් බව ද පවසා ඇත. වාර්තාව මෙතනින්ලංකාවේ මෙවැනි දේ වාර්තා වන්නේ අඩුවෙනි. වාර්තා නොවන සිද්ධීන් කොපමණ ඇද්ද?

මිනිසා මුලින්ම විසඳුම් සොයන්නේ තමන්ට දැනෙන, ඇස්පනාපිට ඇති අභියෝගයකටය. බඩගින්න යනු සියලු රෝගවලට වඩා ප්‍රදාන රෝගයයි. තවමත් නොවැලඳී ඇති කොරෝනාවලට වඩා බඩ ගින්නට පොරකෑම මනුස්ස ගතියකි. ඇඳිරිනීතියට පෙර බඩුගෙන ගෙදරට දිවීම යනු කලබලකාරී දෙයකි. මෙය නගරාසන්නවල වාහනයක් ඇතිව ජීවත් වන මධ්‍යම පන්තියට වඩා වාහනයක් නොමැති අයට බිහිසුනු අභියෝගයකි. දරුවන්, වියපත් වූ දෙමාපියන් ඇති අයට අවිනිශ්චිත හැඟීම් ඇති කරවයි. අනෙකා බිය ගැන්වීමට පොස්ට් දාන මධ්‍යම පන්තියේ ඔබලා මෙසේ සංවේදී වුණාද?

අනුන්ට උපදෙස් දෙන, බියගන්වන්නන්ට කොරෝනා ආසාධිත වුණොත් මොකද වෙන්නේ?

අනුන්බියගැන්වීමට පෝස්ට්දාන මම දන්නා කෙනෙකු වරක් මුහුණු පොතේ ලියා තිබුනේ එක Idiot කෙනෙක් (ගොබ්බයෙක්) කොරෝනා හදාගෙන අනෙක් අයට බෝකොට ජාතිය විනාශ නොකරන ලෙසය. මම ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ ඔහුට කොරෝනා ආසාධිත වුණොත් ඔහුද ගොබ්බයෙක් (= idiot) ලෙස සමාජ උදහසට ලක්වීමට සුදානම් ද යන්නයි. වසංගතයක් ඕනෑම කෙනෙකුට, විව්ධාකාරයෙන් ආසාධනය වියහැකිය. මෙවැනි කාරණාවලදී අනුන්ට පීඩන එල්ල කළ විට, තමන්ද කවදා හෝ පීඩිතයෙකු ලෙසට පත්වීමට ඉඩකඩ ඇත.

අනෙක් අය බියගන්වන්නේ නිරෝගිමත් පුද්ගලයන් ද?

මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන්ට අනුව නම් බිය ධනාත්මකව සහ ඝෘණාත්මව ද බලපායි. වසංගතවලට අනිසි ලෙස බියවීම සහ වෙනත් අය බියට පත්කිරීම අඩුවෙන් වර්ධනය වූ පෞරුෂයක ලක්ෂණයකි. කුඩා කල දෙමාපියන්ගේ බලපෑම, ලිංගික අතෘප්තිය, බලාපොරොත්තු බිඳවැටුනු පුද්ගලයන් නිතර බිය වෙති. අනුන් ද බිය කරවති. ඇතැම්විට ඔවුන් එයින් සැනසීමක් ලබති. තවත් අය විනෝදයක් ලබති. නිදසුනක් නම්: පොළිමක පොර කෑ පිරිසක් විවේචනය කොට මුහුණු පොතෙ දැමීමෙන් එම පොරකෑ පිරිස එම පෝස්ට් කියවායයි සිතිය නොහැක. එය කියවන්නේ, ලයික් දමන්නේ තමන්ගේ මිතුරු හවුලයි. නමුත් ඔහු එයින් මානසික විමෝචනයක් ඇතිකරගනියි.එහෙයින් අනෙක් අය බිය ගන්වන්නන් නිරෝගිමත් මානසික මට්ටමක් ඇති අයයයි නිගමනය කළ නොහැක.


එහෙමෙයි කියලා කොරෝනා ගැන නොසලකා කටයුතු කළයුතු ද?

කොරෝනාවලින් ආරක්ෂාවීමට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අංශවලින් ලබාදෙති. තමන් මොන රටේ හිටියත් එම රටේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපැදීම තමයි ප්‍රයෝජනවත් වන්නේ. පිටරටක ඉන්න කෙනෙක් ලංකාවේ දෙන උපදෙස් පිළිපැදීම ගැන දෙවරක් සිතිය යුතුයි. ලංකාවේ ඉන්න කෙනෙක් වෙනත් රටක උපදෙස් පිළිපැදීම ද එසේමය. ඒ ඒ රටවල පරිසරය, ක්‍රමය වෙනස්ය. එම ක්‍රමය, වෙනස පිළිගෙන කටයුතු කළ යුතුය. මම පිළිපදින්නේ ආරම්භයේදී ලියූ ලෙස ඉන්නා රටේ සෞඛ්‍ය උපදෙස්ය. මට කොරෝනා හැදුණත් එයට සාමකාමීව මුහුණ දෙන්න මම සුදානම්ය. ජීවිතය යනු ලෙඩ රෝග සහිත එකකි. සිහියෙන් කටයුතු කිරීම අපේ හැකියාවකි.

 මේ ලිපියෙන් අදහස් කළේ බියෙන් තොරව මනස සුවපත් කරගැනීමය. එය නම් දේශසීමා ඉක්මවයි.මගේ අධ්‍යාත්මික භාවිතයෙන් ගොඩනගාගත් දර්ශනය නම්

 සැබෑලෙස මරණයට පත්වීමට පෙර මැරි මැරී ජීවත්වීමට මම ඇකැමැත්තෙමි.

මෙත් සිතින්
බටුවංගල සමිද්ධි හිමි 

පින්තූරය: මෙහි පලවන්නේ facebookහි වෙනත් අය බියකිරීමට පෝස්ට් ( share)කරගත්ත්කි.