Thursday, April 13, 2017

අපෙක්ෂාවෙන් නොව අවශ්‍යතාවයෙන් ජීවත්වෙමු




බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ 
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය


ථාලාභ සංතෘෂ්ටිය හෙවත් ලද දෙයින් සතුටුවීම ප්‍රයෝජනවත්, සැහැල්ලු දිවිපැවැත්මට අනුබල දෙන බෞද්ධ ඉගැන්වීමකි. ඉවසීම, අයථාක්‍රමවලින් ධනය ඉපැයීමෙන් වැළැකීම, තිබෙන දෙය මැනවින් කලමණාකරණය කිරීම ආදී ගුණාංග ආරක්ෂාකරවයි. අනෙක් අතට ඉහත ගුණාංග තවදුරටත් වර්ධනය කරයි. එමෙන්ම මෙම දහම ගැන වැරදි අදහස්ද ඇත. එනම් පොහොසත්වීමට දිරිනොගන්වන ඉගැන්වීමක් ලෙසය. මෙම ලිපියෙන් අපි නිවැරදිව ලද දෙයින් සතුටුවීම ගැන අවබෝද කරමු.


"සංතුට්ඨී පරමං ධනං" සතුට පරම ධනයයි. නමුත් ඇතැම් පුහු මිනිසුන් සිතන්නේ ධනය පරම සතුට බවයි. ධනය පරම සතුට නොවුනත් එයද ජීවිතයට සතුට, පහසුවෙන් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකසයි. එහෙයින් ධනය අවශ්‍යය. නමුත් අපි ධනය වෙනුවෙන් ජීවත්නොවෙමු. මුදල්, ගෙවල්,වාහන අපට අවශ්‍ය වන්නේ ජීවිතය පහසු කරගැනීමටය.

ධනය වෙනුවෙන් මුලු ජීවිතයම වන්දිගෙවන මිනිසුන් ඇත. ඔවුන් තමන්ගේ අවශ්‍යතා හදුනානොගනිති. ඒ වෙනුවට අපේක්ෂා රෑසක් හිසමත දරාගනිති. ජීවිතයට බර, කරදර රෑසක් නිර්මානය කරගනිති. තමන් මනසින් සැහැල්ලුවට පත් නොවේ.

අවශ්‍යතාවයන් වෙනුවට අපේක්ෂාවන් ඉහවහ යන්නේ තමන් අනුන් සමග සංසන්දනය කිරීම නිසාය. තමන්ගේ සහොදර, සහෝදරියන්, ඤාතීන් හෝ ගමේ අය, අසල්වැසියන් අදීන් සමග තමන්ට ඇති දේ සහ නැතිදේ සංසන්දනය කරයි. තමන්ට නැති දේ කෙසේ හෝ ලබගැනීමේ තරගකාරී මානසිකත්වය ඇති වේ. තමන්ට අවශ්‍ය නොවුනත්, ලොකුගෙයක් හැදීම, ප්‍රමාණවත් මුදල් නොවුනත් මිළ අධික වාහන සහ තව නොයකුත් දේ අපේක්ෂා කරයි.

ප්‍රයෝජනයක් නැති තරගකාරී මානසිකත්වය නිසා සිදුවන්නේ තමන්ගේ යහපත් ගුණයන් පිරිහීමයි. අනෙකාට ඊර්ෂියා කරයි. තියෙන කෙනාට වෛර කරයි. ණය කරුවෙක් බවට පත්වේ. ලීසිං කොම්පැනිවලට කොයිවේලාවේ හෝ දේපළ අයිති වේයයි බියෙන් යුත්ත වේ. තමන් තමන්ට ආදරය නොකරයි. වේලාවට අනුභව කිරීම, පහසුවෙන් නින්දනොයැම ආදී පීඩනයන් රැසක් තමන්ට තමන් විසින්ම ඇතිකර ගනියි. මිහිපිටම අපායක් නිර්මාණය කරගනියි.

ඇත්තටම බොහෝ මිනිසුන් කටයුතු කරන්නේ අවශ්‍යතාවයට නොව, අනුන්ට තමන්ගේ පුරාජේරුව පෙන්වීමටය. මෙය පහත් මානසික මට්ටමකි. අවිද්‍යාවෙන් අන්ද වූ අය එය නොදනියි. නිවස ඉදිරිපිට කර් එකක් ප්‍රදර්ශනය කිරීම වර්තමානයේ රැල්ලක් බවට පත්ව ඇත. කාර් එකක් බොහෝ අයට අවශ්‍ය නොවුනත් තිබෙන බව පෙන්වන්නේ සාමාජයෙන් නම්බුවක් බලාපොරොත්තුවෙනි. නමුත් සමාජයෙන් ලැබෙන විශේෂ නම්බුවක් නැත. අවසානයේ තිබෙන මුදල්වලින් නිකරුනේ ලීසිං ගෙවයි. අඩුමතරමෙන් ප්‍රමාණවත් පරිදි ආහාර හෝ වෙනත් අවශ්‍යතා නැතිව රෝගීන් බවට පත්වේ.

අපෙක්ෂා රැසක් ඇති පුද්ගලයා අයථාක්‍රම මගින්, අවිනීතියෙන් මුදල් ඉපැයීමට පෙළඹේ. සූදුව, සොරසල්ලි මුද්‍රණය, මංකොල්ලකැම් ආදී අපචාර ක්‍රියාවන්ගෙන් ජීවිතය විනාශ කර ගනියි. තමන්ගේ සුදුසුකම්, හැකියාවන් මගින් ධනය ඉපැයීම අමතක වේ. හැකියාවන් අවභාවිතා කරයි.තමන්ට ඇති සම්පත් නිවැරදිව භාවිතා කිරීම නොසලකා හරියි. ගෙදරදොර අනෙකුත් දේවල්වල පිළිවෙළක් නැත. නිවැරදි කළමනාකරණයක් නැත.

ලද දෙයින් සතුටුවීම යනු තමන්ට ඇති දේ මැනවින් හදුනාගෙන එයින් නිසියාකාරයෙන් ප්‍රයෝජන ගැනීමයි.හොදින් කළමණාකරණය කිරීමයි. ඉන්පසුව ඉදිරි පියවරගැන සැලසුම් කළහැකිය.එනම් ක්‍රමක්ක්‍රමයෙන් ඉදිරියටයැමයි. මෙහිදී ඉවසීම, උපක්‍රමශීලීබව අවශ්‍යය.

තම සන්තක දේ හොදින් භාවිතා කිරීමෙදී ඒ මත පදනම් වන නව අදහස් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළහැකිය. එය කිසියම් අවස්ථාවක බිදවැටෙන සුළුප්‍රමාණය අවමය. යම් පසුබමක් ඇති වුණත් මැනවින් මුල්බැසගත් පදනමක් ඇති බැවින් විනාශයට පත් නොවේ.
තමන් විසින් උපයාගත් දේයක් ඇතැයි යන සතුට "අත්ථි සුඛ" ඇති වේ. ණය නොවන බැවින් අණන සුඛය හෙවත් ණය නොවීමෙන් ලැබෙන ජිවිත සැනසුම ඇතිවේ. මේ සහනය ජීවිතයට ලබෙන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය පුහුණු කිරීමෙනි.