Friday, May 11, 2018

බුද්ධි මට්ටම අතින් අපි ඉන්නේ පහළ මට්ටමක

ලාංකේය සමාජයේ බුද්ධිමට්ටම පිළිබඳව ආචාර්ය අසන්තා අත්තනායක දක්වන අදහස් සංවාදයට ගතයුතුය. බුද්ධි මට්ටම පහළවැටීමටත්, දුප්පත්කම ඉහළ නැගීමටත් සමාජයකට අවශ්‍ය කොටස් දෙකක අඩුව දක්වන්නීය.

පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා.
අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.

මම මෙහිදී අවධානය යොමු කරන්නේ බුදු දහම දර්ශනයක්, චින්තනයක් ලෙස ජනයාගේ චින්තනයට කරණ අඩු බලපෑමයි. ආගමක් ලෙස එය රැකගතයුතු දෙයක් ලෙස බැසගත් මතවාදයක් ඇත. කර්මවාදය නියතියක් ලෙස සලකන හින්දු විශ්වාස සහ වෙනත් ගූඪ විද්‍යාවන් සමග සුසංයෝගි වූ හුදු විශ්වාස පද්ධතියකි. අපාය, දිව්‍ය ලෝකය, නැවත ඉපදීම වැනි දුක්වලින් පලායෑම හෝ සදාකාලික ගැලවීමක් ලෙස බණ කියන අසමාජීය ආගමක්බවට පත් කොට ඇත.
කාලාම,වීමංසක වැනි සූත්‍රවල ඉගැන්වෙන නිදහස් චින්තනයක් දෙසන්නෝ විරලය. අනිත්‍ය, දුක්ඛ වැනි සදාතනික ධර්මය ජීවිතයේ දියුණුවට පහදා දෙන දාර්ශනිකයෝ නැත. භාවනාව එලොවට නොව මොලොව හිතසුව පිණිස උගන්වන්නෝ සහ වඩන්නෝ නැත. බෞද්ධ නිදහස් චින්තනය දෙසනකළ, අසාදාරණයට, දූෂණයට එරෙහිව සදාචාරය කතා කරන දවසට, දාර්ශණිකව වෙනස්වීම අවබෝදකරගැනීමට හිතන දවසට, සිත පිරිසිදු කරගැනීමට භාවනා කරණ දවසට බුද්ධි මට්ටම ඇතිවනු ඇත.
පහතින් සම්පූර්ණ ලිපිය කියවන්න.
ලෝකයේ අනෙක් රටවල බුද්ධි මට්ටම් හා සැලකීමේදී අප සිටින්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.
සාක්ෂාරතාව සියයට 98ක් යැයි මහ ඉහළින් කීවත් බුද්ධි මට්ටම අතින් අප පහළ මට්ටමක සිටින්නේ යැයි ද සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම යනු හාත්පසින්ම වෙනස් මිණුම් දඬු දෙකක් යැයි ද ඇය කීවාය.
ලෝකයේ සම්මත ආකාරවලට අනුව බුද්ධි මට්ටම ගණනය කරන බවත් එහිදි අප අයත් වන්නේ 72ත් 82ත් අතර බුද්ධි මට්ටම් ස්ථරයට බවත් තවත් පහළට වැටුණහොත් අපි මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා යැයි ද ආචාර්ය අත්තනායක මහත්මිය පැවැසුවාය.
බී.ඒ.ඩී ජයන්තර වීරසිංහ මහතා රචිත ‘ජීවිතය ජයගන්නට මා ආ ගමන් මඟ’ කෘතිය සම්බන්ධයෙන් රාජගිරිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැති කතිකාවකදී අදහස් දක්වමින් ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය එම කරුණු කීවාය.
“අපිට සමාජයේ වෙන දේවල් දැක්කම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. බුද්ධි මට්ටම ඉහළම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ දකුණු කොරියාව. ඉන් අනතුරුව ජපානයත් ඊට පසු යුරෝපා රටවල් සිටිනවා. ඉන්දියාවත් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. දකුණු කොරියාවේ බුද්ධි මට්ටම 102. ඉන්දියාවේ 84යි. අපි ඉන්දියාවටත් පස්සෙන් ඉන්නේ. 
අපි සාක්ෂරතාව වැඩි කියලා මහ ලොකුවට කියනවා. සාක්ෂරතාව කියන්නේ තමන්ගේ නම ලිවීමට හා කියවීමට ඇති හැකියාවයි. සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමවේද ගැන සතුටු වෙන්න බැහැ.
බුද්ධි මට්ටම ගත්තාම මේවා ජාත්‍යන්තර ඒවා බටහිර දේවල් කියලා ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. එහෙත් අපි ඉන්නේ කනගාටුදායක තත්ත්වයක. මේ මිණුම් දඬු ජාත්‍යන්තරය පිළිගන්නවා.
මේ ගැන බොහෝ දේ අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. බුද්ධි මට්ටම දර්ශකයක් තිබෙනවා. මෙය අපේ සමාජයේ අපේ රටේ හරස්කඩක්. 
අපි ඉන්නේ මන්දබුද්ධික මට්ටම් සීමාවේ. අපි තවත් පහළට ගියොත් මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා. මේවා මම කියන දේවල් නෙමෙයි. අන්තර්ජාලයෙන් හෝ පත පොතින් මේ දේවල් බලන්න පුළුවන්. 
මගේ ස්වාමිපුරුෂයා විදේශිකයෙක්. ඔහුත් මේ දේවල් සම්බන්ධයෙන් උනන්දුයි. ඔහු අපේ රට දෙස බලන්නේ වෙනස් විදියකට. විදේශිකයෙක් විදියට. රටක් දියුණු කරන්නට සමාජ ස්ථර දෙකක් පිරිස් වර්ග දෙකක් අවශ්‍ය බව ඔහු කියනවා. එහෙත් ඒ කොට්ඨාශ දෙකම අපේ රටේ නැති නිසා අපේ රට දියුණු කරන්න බැහැ කියලා ඔහු කියනවා.
මේ කොටස් දෙකෙන් පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.
එහෙත් අරගල කරන්න මිනිස්සු නැහැ අපේ රටේ. හිතන්න මිනිස්සු නැහැ. දැක්මක් තිබෙන බුද්ධිමතුන් නැහැ. ඉහත කියපු ස්ථර දෙක නැතිනම් කොටස් දෙකම අපේ රටේ නැහැ. 
අපේ චින්තකයෝ, දාර්ශනිකයෝ, බුද්ධිමතුන් බොහෝමයක් රට අත්හැරලා ගිහින්. අපේ රටේ දුප්පත් ජනතාවගෙන් බොහෝමයක් මැද පෙරදිග හෝ වෙනත් රටවල ශ්‍රමික සේවයට ගිහින්. අපේ රටේ දැන් ඉන්නේ මැද ජනතාව නැතිනම් සාමාන්‍ය ජනතාව. ඔවුන් සාමාන්‍යයි. ඔවුන්ට ඕනෑම සාමාන්‍යය තත්ත්වයක ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ට ගැටලුවක් නැහැ.
දුප්පත් ජනතාව සිටියා නම් අරගල කරනවා. සාමාන්‍ය ජනතාව අතින් එය සිදුවන්නේ අඩුවෙන්. අපේ රටේ තාර්කිකව හිතන මිනිස්සු අඩුයි. හේතු සොයාගන්නා ඒවා සාධාරණීයකරණය කරන ඒ වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු අඩුයි. අපේ ළමයි බුද්ධිමය අතින් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අපේ දරුවන්ව ඒ දේවල්වලින් මුදා ගන්න ඕනේ. ඒ සඳහා කළ යුතු බොහෝමයක් දේ තිබෙනවා.
අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා” යැයි ද ආචාර්යවරිය තවදුරටත් කීය.
දේශපාලකයන් හැසිරෙන ආකාරයෙන් සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් ඉහත කරුණු සම්බන්ධයෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් පැවැසීය.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
උපුටාගැනීම මෙතැනින්