Monday, May 15, 2017

ධර්මයෙන් සතුට සෙවීම


 
බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය



මිනිසා සතුටට කැමතියි. සතුට සොයයි. මිනිසා සතු අභියෝගය වන්නේ සතුට දීර්ඝකාලීනව හෝ නිතර පවත්වාගනීමයි. සතුට ඇතිකරගැනීමටත්, පවත්වාගැනීමටත් මිනිසා නොනවතින අරගලක නිරතවෙයි. සතුට එක අංශයකින් පමණක් ඇති නොවන්නකි. එය බොහෝ අංග මත පදනම් වන්නකි.

පවුල් ජීවිතයේදී ස්වාමිපුරුෂයා, බිරිද, දූදරුවන්, දෙමාපිය, සහෝදර ආදී සම්බන්ධතා මගින් තෘප්තිය ඇති වේ. සමාජ ජිවිතයේදී මිත්‍රයන්, දන්නා හදුනන අය, පිදියයුතු පිරිස් ආදීන් සමග පවත්වන මිත්‍රශීලීත්වය සතුට ඇතිකරවන්නකි. ප්‍රයෝජනවත් දේ ඇසීම, කියවීම, දැනගැනීම සහ සාකච්ඡා කිරීම දැනගැනීම මගින් සතුට ඇතිකරවයි. තමන්ට සහ අනුන්ට ප්‍රයෝජනවත් දෙයෙහි නිරතවීමෙන් සැහීමට පත්වීමෙන් සතුට ඇති වේ.

සතුට යන්න බොහෝ දෙනෙක් හදුනාගන්නේ පොහොසත්විම යනුවෙනි. තමන්ගේ පැවැත්ම පහසුකරගැනීමට මූලික අවශ්‍යතා සපුරාගැනීම ප්‍රයෝජනවත්ය. නමුත් අප සතු වත් පොහොසත් කම් පමණක් සැබෑ සතුට ඇති නොකරයි. දුක යන්න දුප්පත්, පොහොසත් මායිම් නොකොට පවතින්නකි.

සතුට ඇතිකරගැනීම මනස මුලික පවතී. එය යහපත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් සහ නිවැරදි තෙරුම්ගැනීමක ප්‍රතිඵලයකි. යහපත් ක්‍රියා සහ සිතුවිලි යනු ධර්මයයි. ධර්මය යනු යහපත් ක්‍රියා සහ සිතුවිලියි. බෞද්ධ යන වචනයේ අර්ථයම අවබෝදය යන්නයි. අවබෝදයෙන් තොරව යහපත් ක්‍රියා සහ සිතුවිලි නොපවතී.

මෙහි බෞද්ධ යනු එක්තරා ආගමික ප්‍රජාවක් හෝ සමාජ කොටසක් නොවේ. නැතිනම් එක රටක පමණක් ජීවත්වන පිරිසක් නොවේ. ඕනෑම රටක, ඔනෑම ආගමකට හෝ දේශපාලන සංවිධානයකට හෝ වර්ගයකට අයත් මිනිසුන් යහපත් ක්‍රියා සහ සිතුවිලි ඇතිනම් ඔවුන් බෞද්ධයෝය.

මෙම යහපත් ආකල්පය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බ්‍රහ්මණයෙකු වේවා, දෙවියෙකු වේවා, ශාක්‍යයෙක් වේවා හෝ වෙනත් කෙනෙකු වේවා ධර්මය දකීනම් ඔහු හෝ ඇය දුක නැති කරයි. ඔහු හෝ ඇය පරම සතුට හෙවත් නිවන අත්විදියි යනුවෙනි. ධර්මය දැකීම යනු ධර්මය සොයාගැනීමයි. ධර්මය සොයාගැනීම ජාති ආගම් භේදයෙන් තොරව මිනිසා සතු ප්‍රබල සහ ප්‍රයෝජනවත් හැකියාවකි. මෙම හැකියාව තිව්‍රරකරගන්නා තරමට ජීවිතයේ දුක තුරන් වේ.

ධර්මය සෙවීමේ අරමුණ දුක නැතිකිරීමය. මෙම ප්‍රධාන අරමුණ බොහෝ දෙනෙක් අමතක කරති. අපාය, දිව්‍යලෝකය වැනි ආගමික විශ්වාස දරන අය යහපත සහ අයහපත හදුනාගැනීමට අපොහොසත්ය. ඔවුන් ක්‍රියාව වෙනස් නොකොට ඒවා පිළිබද පමණක් විශ්වාස කරති. අපි ධර්මය සෙවිය යුතු වන්නේ අපාය දිව්‍යලෝකය නිසා නොව දුක නැතිකොට සතුට ඇති කරගැනීමටය. අපායට දිව්‍යලොකවලට ඇති භය සහ අශාවද නැවත දුකම ඇති කරයි.

ධර්මය සෙවීමේ අරමුණ දුක නැතිකොට සතුට ඇති කරගැනීමයි. ඉහත සදහන් කළ සමාජ සම්බන්දතා මගින් සහ යහපත මූලික කරගත් ක්‍රියාවෝ නිතර සතුට ඇතිකරවයි. ඉතා සියුම් යහපත් ක්‍රියාවෝ පවා සතුට ඇතිකරයි. සිතෙහි කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගෙන සතෙකුට කෑම ටිකක් වතුර පොදක් දීමෙන් පවා සතුට ඇති වේ.

තවත් කෙනෙකුගේ යහපත දැක සතුටට පත්වන්නේ නම් එය මුදිතාවයි. ධර්මය සොයාගැනීමකි. සතුට ඇතිකරවයි. මා දන්නා හාමුදුරුවන් වහන්සේ නමක් කතාකරන බෝහෝ අවස්ථාවල වෙනත් අයගේ යහපත් දේ ගැනම කියයි. උන්වහන්සේ එසේ කියන්නේ අවංකවම බව හැගෙයි. අනුන්ගේ නුගුණ, ඔපාදූප නොකියයි. එය ගුණයකි. සතුට ඇතිකරවන්නකි.

මා පාරිසරික වැඩසටහන් කරන විට නිතර අත්විදින කරුණක් නම් පැළයක් සිටුවීමෙන් කෙනෙකු අනන්ත සතුටක් විදින බවයි. දුෂ්කර පළාත්වල වැඩසටහන් කරන විට ඇතැම්විට ප්‍රමාණවත් ආහාර නැත. නමුත් ඒ බව කිසිදිනක දැනී නැත. යහපත් ක්‍රියාව සමග සිත සතුටට තෘප්තියට පත් වේ. ගහක් කොළක් සිටුවීම වැනි සරල ක්‍රියා වකින් පවා අපමණ සතුටක් ඇති වේ. එය කුසලයි. ධර්මය සෙවීමකි.

තවත් කෙනෙකු වෙනුවෙන් කාලය ගත කිරීම මහත් අත්වැසිල්ලකි. කෙනෙකුගේ දුක හෝ සතුට අසා දුක තුනීකිරීමට වචනයෙන් හෝ අස්වැසිල්ලක් විය හැකිය. කෙනෙකුගේ දියුණුව දැක සතුටුවීම කුසලයකි. ඇතැම්විට විපතකදී කෙනෙකුගේ හදවත උණුසුම්ව උපකාර කළද, කෙනෙකුගේ දියුණුව දැක සතුට ඇතිකරගැනීම දුෂ්කරය. අපගේ උසස්ම අධ්‍යාත්මික දියුණුව සැප සහ දුක යන දෙකේදීම කෙනෙකු සමග සම සිතින් කටයුතු කිරීමය.

සතුට ඇතිකරගැනීමට ඉතා සුළු ක්‍රියාවෝ ප්‍රමාණවත්ය. මෙම කරුණ මැනවින් තහවුරු කරන ධර්මයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි උපමාවකින් දෙසූහ. ජල බිංදුව බිංදුව එකතු වී කලය පිරෙන්නාක් මෙන් කුඩා කුඩා යහපත් ක්‍රියාවන්ගෙන් ජීවිතය පිරෙන්නේය. ධර්මය සෙවීමද ඉතා සරල විය යුතුය. තමන්ට කළ නොහැකි දේ නොව එදිනෙදා ජීවිතයෙ සෑම අවස්ථාවකම යහපත් මානසිකත්වයකින් වැඩදායක හැසිරීම වැදගත්ම කොටසයි.

No comments:

Post a Comment