Monday, May 15, 2017

ධර්මයෙන් සතුට සෙවීම


 
බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය



මිනිසා සතුටට කැමතියි. සතුට සොයයි. මිනිසා සතු අභියෝගය වන්නේ සතුට දීර්ඝකාලීනව හෝ නිතර පවත්වාගනීමයි. සතුට ඇතිකරගැනීමටත්, පවත්වාගැනීමටත් මිනිසා නොනවතින අරගලක නිරතවෙයි. සතුට එක අංශයකින් පමණක් ඇති නොවන්නකි. එය බොහෝ අංග මත පදනම් වන්නකි.

පවුල් ජීවිතයේදී ස්වාමිපුරුෂයා, බිරිද, දූදරුවන්, දෙමාපිය, සහෝදර ආදී සම්බන්ධතා මගින් තෘප්තිය ඇති වේ. සමාජ ජිවිතයේදී මිත්‍රයන්, දන්නා හදුනන අය, පිදියයුතු පිරිස් ආදීන් සමග පවත්වන මිත්‍රශීලීත්වය සතුට ඇතිකරවන්නකි. ප්‍රයෝජනවත් දේ ඇසීම, කියවීම, දැනගැනීම සහ සාකච්ඡා කිරීම දැනගැනීම මගින් සතුට ඇතිකරවයි. තමන්ට සහ අනුන්ට ප්‍රයෝජනවත් දෙයෙහි නිරතවීමෙන් සැහීමට පත්වීමෙන් සතුට ඇති වේ.

සතුට යන්න බොහෝ දෙනෙක් හදුනාගන්නේ පොහොසත්විම යනුවෙනි. තමන්ගේ පැවැත්ම පහසුකරගැනීමට මූලික අවශ්‍යතා සපුරාගැනීම ප්‍රයෝජනවත්ය. නමුත් අප සතු වත් පොහොසත් කම් පමණක් සැබෑ සතුට ඇති නොකරයි. දුක යන්න දුප්පත්, පොහොසත් මායිම් නොකොට පවතින්නකි.

සතුට ඇතිකරගැනීම මනස මුලික පවතී. එය යහපත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් සහ නිවැරදි තෙරුම්ගැනීමක ප්‍රතිඵලයකි. යහපත් ක්‍රියා සහ සිතුවිලි යනු ධර්මයයි. ධර්මය යනු යහපත් ක්‍රියා සහ සිතුවිලියි. බෞද්ධ යන වචනයේ අර්ථයම අවබෝදය යන්නයි. අවබෝදයෙන් තොරව යහපත් ක්‍රියා සහ සිතුවිලි නොපවතී.

මෙහි බෞද්ධ යනු එක්තරා ආගමික ප්‍රජාවක් හෝ සමාජ කොටසක් නොවේ. නැතිනම් එක රටක පමණක් ජීවත්වන පිරිසක් නොවේ. ඕනෑම රටක, ඔනෑම ආගමකට හෝ දේශපාලන සංවිධානයකට හෝ වර්ගයකට අයත් මිනිසුන් යහපත් ක්‍රියා සහ සිතුවිලි ඇතිනම් ඔවුන් බෞද්ධයෝය.

මෙම යහපත් ආකල්පය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බ්‍රහ්මණයෙකු වේවා, දෙවියෙකු වේවා, ශාක්‍යයෙක් වේවා හෝ වෙනත් කෙනෙකු වේවා ධර්මය දකීනම් ඔහු හෝ ඇය දුක නැති කරයි. ඔහු හෝ ඇය පරම සතුට හෙවත් නිවන අත්විදියි යනුවෙනි. ධර්මය දැකීම යනු ධර්මය සොයාගැනීමයි. ධර්මය සොයාගැනීම ජාති ආගම් භේදයෙන් තොරව මිනිසා සතු ප්‍රබල සහ ප්‍රයෝජනවත් හැකියාවකි. මෙම හැකියාව තිව්‍රරකරගන්නා තරමට ජීවිතයේ දුක තුරන් වේ.

ධර්මය සෙවීමේ අරමුණ දුක නැතිකිරීමය. මෙම ප්‍රධාන අරමුණ බොහෝ දෙනෙක් අමතක කරති. අපාය, දිව්‍යලෝකය වැනි ආගමික විශ්වාස දරන අය යහපත සහ අයහපත හදුනාගැනීමට අපොහොසත්ය. ඔවුන් ක්‍රියාව වෙනස් නොකොට ඒවා පිළිබද පමණක් විශ්වාස කරති. අපි ධර්මය සෙවිය යුතු වන්නේ අපාය දිව්‍යලෝකය නිසා නොව දුක නැතිකොට සතුට ඇති කරගැනීමටය. අපායට දිව්‍යලොකවලට ඇති භය සහ අශාවද නැවත දුකම ඇති කරයි.

ධර්මය සෙවීමේ අරමුණ දුක නැතිකොට සතුට ඇති කරගැනීමයි. ඉහත සදහන් කළ සමාජ සම්බන්දතා මගින් සහ යහපත මූලික කරගත් ක්‍රියාවෝ නිතර සතුට ඇතිකරවයි. ඉතා සියුම් යහපත් ක්‍රියාවෝ පවා සතුට ඇතිකරයි. සිතෙහි කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගෙන සතෙකුට කෑම ටිකක් වතුර පොදක් දීමෙන් පවා සතුට ඇති වේ.

තවත් කෙනෙකුගේ යහපත දැක සතුටට පත්වන්නේ නම් එය මුදිතාවයි. ධර්මය සොයාගැනීමකි. සතුට ඇතිකරවයි. මා දන්නා හාමුදුරුවන් වහන්සේ නමක් කතාකරන බෝහෝ අවස්ථාවල වෙනත් අයගේ යහපත් දේ ගැනම කියයි. උන්වහන්සේ එසේ කියන්නේ අවංකවම බව හැගෙයි. අනුන්ගේ නුගුණ, ඔපාදූප නොකියයි. එය ගුණයකි. සතුට ඇතිකරවන්නකි.

මා පාරිසරික වැඩසටහන් කරන විට නිතර අත්විදින කරුණක් නම් පැළයක් සිටුවීමෙන් කෙනෙකු අනන්ත සතුටක් විදින බවයි. දුෂ්කර පළාත්වල වැඩසටහන් කරන විට ඇතැම්විට ප්‍රමාණවත් ආහාර නැත. නමුත් ඒ බව කිසිදිනක දැනී නැත. යහපත් ක්‍රියාව සමග සිත සතුටට තෘප්තියට පත් වේ. ගහක් කොළක් සිටුවීම වැනි සරල ක්‍රියා වකින් පවා අපමණ සතුටක් ඇති වේ. එය කුසලයි. ධර්මය සෙවීමකි.

තවත් කෙනෙකු වෙනුවෙන් කාලය ගත කිරීම මහත් අත්වැසිල්ලකි. කෙනෙකුගේ දුක හෝ සතුට අසා දුක තුනීකිරීමට වචනයෙන් හෝ අස්වැසිල්ලක් විය හැකිය. කෙනෙකුගේ දියුණුව දැක සතුටුවීම කුසලයකි. ඇතැම්විට විපතකදී කෙනෙකුගේ හදවත උණුසුම්ව උපකාර කළද, කෙනෙකුගේ දියුණුව දැක සතුට ඇතිකරගැනීම දුෂ්කරය. අපගේ උසස්ම අධ්‍යාත්මික දියුණුව සැප සහ දුක යන දෙකේදීම කෙනෙකු සමග සම සිතින් කටයුතු කිරීමය.

සතුට ඇතිකරගැනීමට ඉතා සුළු ක්‍රියාවෝ ප්‍රමාණවත්ය. මෙම කරුණ මැනවින් තහවුරු කරන ධර්මයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි උපමාවකින් දෙසූහ. ජල බිංදුව බිංදුව එකතු වී කලය පිරෙන්නාක් මෙන් කුඩා කුඩා යහපත් ක්‍රියාවන්ගෙන් ජීවිතය පිරෙන්නේය. ධර්මය සෙවීමද ඉතා සරල විය යුතුය. තමන්ට කළ නොහැකි දේ නොව එදිනෙදා ජීවිතයෙ සෑම අවස්ථාවකම යහපත් මානසිකත්වයකින් වැඩදායක හැසිරීම වැදගත්ම කොටසයි.

Monday, May 8, 2017

බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සොයාගැනීම


බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය


සිද්ධාර්ථ ගෞතමයාණෝ සුවිශේෂ ප්‍රර්යේෂණයකට මුලපිරීහ​. එනම් දුක නැති කරගන්නේ කෙසේද යන්නයි. මේය මානව ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි ආත්මවිශ්වාසයෙන් දෛනික ජීවිතය දුකෙන් මුදවා සැනසීම ඇතිකරගැනීමේ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ අනුදත් මගයි. උන්වහන්සේගේ සොයාගැනීම දුක නැතිකරගැනීමයි. මෙය ධර්මය ලෙස ප්‍රචලිතය.

ධර්මය යනු බුදු රජාණන් වහන්සේගේ මැවීමක් නොවේ. එය උන්වහන්සේගේ උත්සාහයේ හෙවත් කළ පර්යේෂණයේ ප්‍රතිඵලයකි. ධර්මය සැම කල්හිම පවතී. නමුත් මිනිසුන් භාවිතයට නොගන්නා නිසා සහ ධර්මය සහ අධර්මය වෙන්කරගැනීමේ නොහැකියාව නිසා ධර්මය මිනිස් මනසෙන් අමතක වේ. අමතකවගිය දහම සොයාගැනීම බුදුවරයෙකුගේ උත්සාහයේ ප්‍රතිඵලයයි.

ධර්මය සොයාගැනීමේ හැකියාව සැම මිනිසෙකු සතුය.මෙම හැකියාව මිනිසා උසස් මනසක් ඇත්තෙකු කරවයි. ධර්මය පිටස්තර බලවේගයකින් ලැබෙන්නක් නොවේ. එය උත්සාහයෙන් ඇතිකරගත යුත්තකි. එය අවබෝධය මගින් ඇතිකරගැනීමකි. බුද්ධ යන වචනයේ අර්ථය අවබෝධයෙන් අවදිවීම යන්නයි. ධර්මය අවබෝධකරගන්නා තරමට දුක අවම වේ. දුක අවම ජීවිතය ප්‍රසන්නය.

ප්‍රසන්න ජිවිතයක මූලික කරුණු දෙකක් ප්‍රදර්ශනය වේ.

1) යහපතින් නැවුම්වීම


2) යථාවබෝධයෙන් ජීවත්වීම

1) ජීවිත්ය යහපතින් නැවුම්කරගැනීමට යහපත් සිහිය අත්‍යවශ්‍ය සාධකයකි. එදිනෙදා ජීවිතයේදී විවිධ දුෂ්කරතා සහ සුවදායී අවස්ථා හමුවේ. ඒ සැම අවස්ථාවකදී මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපෙක්ෂාව උපදවාගැනීමේ සිහිය යහපත් සිහියයි. මෙය සතර බ්‍රහ්ම විහරණ ලෙස නම් කෙරේ. නිතර වාසය කළ යුතු හෙවත් සිහිය පැවැත්විය යුතු කරුණු සතරකි. එය පියවර කිහිපයකින් පුහුණු කළ හැකි ධර්මයකි.

පළමු පියවරේදී මෛත්‍රිය, කරුණාව,මුදිතාව සහ උපෙක්ෂාව තමන් කෙරෙහි උපදවාගතයුතුය. ඇතිවෙන කෙන්තිය, තරහව, වෛරය, ඊර්ෂියාව, හැගීම්බර බව, ආවේගය ආදී ලාමක මානසික තත්වයන් තමන් විසින් තමන් දුකට පත්කරවයි. එය හදුනාගෙන ඉන් මිදෙන තරමට සැනසීම ඇතිවේ. නැතිනම් දුක නැති වී සැනසුම ඇති වේ.

දෙවන පියවර නම් බ්‍රහ්ම විහරණ තමන්ගේ පවුලේ අය, මිත්‍රයන්, හිතවතුන් කෙරෙහි උපදාවාලීමයි. තමන්ගෙන් ඔවුන්ටද, ඔවුන්ගෙන් තමන්ටද සිදුවියහැකි මිනිස් දුර්වලතා ගැන සංවේදිවීම සහ සමාවදීම, අමතක කරදැමීම ආදී කුසලතා ඇතිකරගැනීම සතුට ඇති කරවයි. තෙවන පියවරේදී සියලු දෙනාගේ යහපත පිණිස තම ක්‍රියා වැඩිකළ හැකිය.මේ සැම අවස්ථාවකදීම මිනිස් ගුණාංග දියුණු වේ. මිනිස් ගුණාංග දියුණුවන තරමට සන්තානගත දුක අවම වේ. යහපතින් ජීවිතය නැවුම් වේ.

2) යථාවබෝධය ලැබීම අධ්‍යාත්මික ජීවිතයේ වැදගත්ම කොටසකි. මිනිසා ඉදිරියේ ඇති අප්‍රිය අභියෝගයක් වන්නේ ලෙඩවීම, වයසට යැම, මරණයට පත්වීම සහ වෙනත් වෙනස්වන තත්වයන්ට මුහුණපැමයි.

මෙහිදී මානසික ඒකාග්‍රතාවය රැකගැනීමට නම් සියලු සංස්කාර හෙවත් සියලු දෙයෙහි යථාස්වරූපය තෙරුම්ගත යුතුය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීම පුරුදු කළ යුත්තේ මානසික වියවුල නැතිකර අභ්‍යන්තරික සාමය පවත්වාගැනීමටය.
මෙම දහම සොයාගැනීම පුද්ගලයා සතු පුද්ගලික කාර්යයකි. කිසිකෙනෙකුට එය ලබාදීමට නොහැකිය. තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. නිතර තම ක්‍රියාව සහ ක්‍රියාවේ ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීම ප්‍රායෝගික භාවිතයයි. අප්‍රසන්න තත්වයන් ඇතිවීමට අප්‍රසන්න හේතු මුල්වේ. එම හේතු වෙනස් කිරීමෙන් අප්‍රසන්න තත්වයන් මගහරවා ගතහැකිය. ප්‍රසන්න තත්වයන් ඇතිවීමට ප්‍රසන්න හේතුකාරක ප්‍රධාන වේ. ප්‍රසන්න හේතුකාරක පවත්වාගැනීමට සිහිය අවශ්‍යය.

මනසේ ප්‍රසන්න බව ආරක්ෂා කරගැනීමට සිහිය පැවැත්වීමෙන් විවිධ යහපත් ගුණාංග දියුණු වේ. මනා අවබෝධයෙන් ජීවත්වීමේ අභ්‍යන්තරික කුසලතාවය තියුණු වේ. මෙම ක්‍රියාවලියේදී මනස විවිධ අන්දමින් වෙනස් වන බව මුල් බුදු දහමෙන් පෙන්වා දෙන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් වශයෙනි.

විශේෂත්වය නම් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අරහත් වැනි තත්වයන්ට පත්වීමට නොව දුක නැතිකරගැනීමටය. දුක නැතිකිරීමට ධර්මය තමන් තුළින් සොයා ගන්නා තරමට අනාගාමී සහ අරහත්වැනි විවිධ මානසික තත්යන්ට පත් වේ. වැදගත් වන්නේ දුක නිවීමට, සැනසුම ලැබීමට ධර්මය සොයාගැනීමය