Saturday, August 20, 2016

ඒ විමුක්‌ති මග මා සතුය

 ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති 
විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි

 
බුදු රජාණන් වහන්සේගේ ධර්මය සෑම දෙසින්ම ඇසේ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උන්වහන්සේ පිදුමට ජනයා සුදානම් වෙති.. මෙහිදී වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ විමුක්‌තිය ලැබූ ආකාරයත්, එම විමුක්‌ති රසය වෙනත් අයට අත්දැකීමට සැලසූ ආකාරයත්ය. බුදු දහම සියලු දුක්‌ නෑසීම පිණිස පවතින්නේය. සියලු දුක්‌ නැසීමට ජනයා උනන්දු කරවයි. ඒ සඳහා අවශ්‍ය මාර්ගය මැනවින් දේශිතය.

බුදුරජාණන් වහන්සේ විමුක්‌තිය කුමක්‌දැයි සොයන සමයේ විමුක්‌තිය ලැබීමට විවිධ ක්‍රම අනුගමනය කළහ. ඒ බොහෝ ක්‍රම ආත්මය දැවීමට ඉලක්‌කගත විය. තමාගේ ශරීරයෙන් වෙන්ව පවතින ආත්මය පිරිසිදු කිරීමට ශරීරයට දුක්‌දීම ප්‍රසිද්ධ ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ එම ක්‍රම අනුගමනය කළහ. උන්වහන්සේ එම ක්‍රමවල ස්‌වභාවය අනුව සාරාංශ කළහ.

01 අත්තන්තප : තමා වෙත දුක්‌ පීඩා පමුණුවා ගැනීම. එනම් අඩුවෙන් ආහාර ගැනීම, ගස්‌ පොතු, කොළ, ගෙඩි, අසූචි වැනි කටුක දේ ආහාරයට ගැනීම. ශාරීකව පිරිසිදු නොවීම, ගින්දරවලින් ශරීරය තැවීම, හිස කෙස්‌, නිය ආදිය නොකැපීම ආදී තවත් දුක්‌දීම් විමුක්‌තිය පිණිස භාවිත කළෝය.

02 පරන්තප : අනුන් වෙත දුක්‌ පීඩා පැමිණවීම

03 අත්තන්ත සහ පරන්තප : තමා වෙත සහ අනුන් වෙත දුක්‌ පීඩා ගෙනදීම

තමන්ගේ විමුක්‌තිය පිණිස තාමට හෝ අනුන්ට දුක්‌ පීඩා පැමිණවීම විමුක්‌තිය පිණිස හේතු නොවන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. තමා විසින් තමන්ට දුක්‌දීම හෝ අනුන්ට දුක්‌දීමෙන් සිතෙහි එකඟ බව පවත්වා ගැනීමට දුෂ්කරය. යහපත් සිහිය පිරිහේ.

දීඝනිකායේ උදුම්බරික සීහනාද සූත්‍රයේදී විමුක්‌තිය වෙනුවෙන් තමන්ට දුක්‌ දීමෙන් ඇතිවන මානසික වියවුල් පෙන්වා දුන්හ. තමන් මෙවැනි දුෂ්කර ප්‍රතිපදාවක්‌ කරන්නේ යෑයි තමා උත්කර්ෂයට නන්වාගනියි. අනෙක්‌ අය ඉදිරියේ තමන් උසස්‌ කෙනෙක්‌ බව පෙන්වයි. ඒ සමගම අනෙක්‌ අය හෙළා දැකීමටද නැඹුරු විය හැකිය. ජනාදරය දිනාගැනීමට එවැනි දෑ භවිතා කළ හැකිය. විශේෂයෙන්ම ධනවතුන්ගේ අවධානය දිනාගැනීමට තැත් කරයි. විශේෂයෙන්ම තමන්ට විශේෂ වික්‍රම පෑමේ හැකියාව ඇති බව හඟවමින් ජනයාගේ විශේෂ අනුග්‍රහය ලබාගැනීමට තැත් කරයි.

අද පමණක්‌ නොව බුදුන් දවස ද ආගමික පරිසරයෙන් දිස්‌වන්නේ අවංක නොවන ශ්‍රමණයන් මෙන්ම ආගමික වෘතයන් රඟදක්‌වන ලද කොටස්‌ සිටි බවයි. මෙවැනි කොටස්‌ ධර්මයෙහි ඇති හරවත් දෑ විනාශ කරති. යහපතෙහි හැසිරීම අමතක කරවති. ධර්මයෙහි ඇති සරල සුමග සහජීවනය සිඳලති. ඒ වෙනුවට ධර්මයෙන් තොර මායාකාරී දෑ, විසිතුරු දෑ මහ ජනයාට පෙන්වති.

බුදුරජාණන් වහන්සේ විමුක්‌තිය ලැබීමේ මග ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙළි කළහ. සියලු කායික, මානසික සංසාරික දුක්‌ නැතිකිරීමේ මග එයයි. එය සදාචාරවත් මගයි. සියලු සදාචාර ධර්මයන් අඩංගු වන පරිපූර්ණ මාර්ගයයි. කවරෙකු හෝ තමන්ගේ දුක්‌ සිඳලන්නේ නම් ඒ මේ මග අනුගමනය කිරීමෙනි. සෑම අගයකටම මුලින් 'සම්මා' යන විශේෂණ පදයෙන් 'යහපත' යන්න මැනවින් අවධාරණ කර ඇත.

තමන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵලය නිරීක්‌ෂණය කිරීමට පෙළඹවීම බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙහි විශේෂත්වයකි. ක්‍රියාව සහ ප්‍රතිඵලය අතර පවතින අන්තර් සම්බන්ධය නිරීක්‌ෂණය කිරීම, නුවණින් විමසීම ධර්මය අනුගමනය කිරීමේ මූලික ක්‍රමවේදයයි. දුක ඇතිකරවන ක්‍රියාවෙන් තොරවීමත්, තමන්ට සහ අනුන්ට යහපත් සතුට ගෙන දෙන ප්‍රතිsඵල ඇති ක්‍රියාවන්හි නිරතවීමත් ධර්මය අනුගමනය කරන්නාගේ ක්‍රියා පිළිවෙතයි. ප්‍රතිඵල යහපත් කරවන ක්‍රියාවන් කිරීමට අවශ්‍යම සිහිය පොළඹවා ගතයුතුය. මෙය සතිය පිහිටුවීම වශයෙන් හැඳින් වේ.

එහෙයින් බුදු දහමෙන් ඉගැන්වෙන විමුක්‌ති මග නම් තමාගේ වැරදි සිතීමෙහි, හැසිරීමෙහි සහ කතාවේ හානිකර ප්‍රතිඵල ගැන සිහිය ඇතිකර ගනිමින් තමා විසින් තමන්ම පිරිසිදු කරගැනීමයි.

1 comment: