බටුවංගල
සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ
සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය
මම තමයි හොදම
කෙනා. මම
තමයි දක්ෂයා. මට
තමයි හොදම දේවල්, ලොකුම
දේවල් තියෙන්නේ. මගේ
තමයි වටිනාම දේවල්. මම,
මට, මගේ
බව හගවන එක මනුස්සගතියක්.
නමුත් නිතරම
කෙනෙක් තමන්ගෙම ලොකුකම,
පුරාජේරුකම
හෝ වෙනත් අය නිතරම ඉක්මවායන්න
උත්සහ කරනවා නම් ඒ මානසික
රෝගීතත්වයක්. මෙයින්
මනුස්සයා දුකට, වේදනාවට,
දොම්නසට පත්
වේ. තමන්ගේ
කාලය අපතේ යවයි. සමාජයේ
උපහාසයට ලක්වේ. තමන්ගේ
යහපත් ගුණයන් පිරිහේ.
අපි සරලව
කල්පනා කරමු නිතරම තමන්
කෙන්ද්‍රකරගත් කෙනෙක් පිළිබදව.
එම කෙනා ආගමික
ස්ථානයකට ගියත් තමන්ගේ නම
කියවාගන්න කැමැතියි.
අනෙක් අය
ඉක්මවා කටයුතු කරන්න තරග කරයි.
එසේ නොවුනහොත්
දුකට දොම්නසට පත් වේ.
තමන් කළයුතු
දේ ගැන නොසිතයි. කාලය
අපතේ යවයි. අනුන්ගේ
ගුණයක්, හොදක්
නොදකියි. තරගකාරීත්වය
නිසා කරුණා, මුදිතා
හෙවත් අනුන්ගේ යහපත් දැක
සතුටුවීම ආදී ගුණයන් පිරිහීයයි.
තමන් දුකට
පත්කරවන, නරක
ගති ඇතිකරවන, තමන්ගේ
කාලය අපතේ යවන විපරීත මානසිකත්වයක්
ඇතිවීමට හේතු කිහිපයක් බලපායි.
දෙමාපියන්
නිතර දරුවන් තම සිතැගි අනුව
පාලනය කරත් නම් දරුවාගේ පෞරුෂය
ගොඩනැගෙන්නේ හීනමාන සහ අධිමානය
සමගය. ඇතැම්
අම්මලා, තාත්තලා
දරුවන්ට අනෙක් ළමයින් පරදා
ඉදිරියට යායුතුබව නිතර හගවති.
එවැනි
ක්‍රියාකාරකම් අගයති.
ජයග්‍රහනවලදී
අගේ කිරීමත්, පසුබසින
විට වරද පැටවීමත් දැකිය හැකිය.
මෙය දරුවාගේ
අඩු පෞරුෂයක් ඇතිවීමට බලපායි.
එවැනි අය
වැඩිවියට පත්වීමේදී අනෙක්
අය සමග එකට කටයුතු කිරීමට
නොහැක. නිතර
අනෙකාට වඩා පළමු තැන අපේක්ෂා
කරති. මෙම
තත්වයන් ඇතැම් අයගේ ප්‍රකාශයන්ගෙන්
දැකිය හැකිය. තමන්
වැඩ කරන තැන ප්‍රධානියා නැතිනම්
දෙවෙනියා යයි අනෙක් අයට හගවති.
එසේ නැතිනම්
ආයතන ප්‍රධානියාගේ හොදම ,
හිත් දිනාගත්
කෙනා ලෙස පෙන්වයි. මෙම
මානසික තත්වය හැදෙන්නේ කුඩා
කාලයේ දෙමාපියන්ගේ පාලනය
යටතේ ඔවුන් සතුටු කිරීමට
තැත්කිරීමේ ප්‍රතිඵලයක්
ලෙසය.
දක්ෂතාවයන්
අඩු මිනිසුන් කිසියම් දෙයක
දක්ෂ ලෙස නියැලෙන මිනිසුන්
පහත් කොට කතාකිරීමේ බාල,
පහත් පුරුද්දක්
ඇත. ඔවුන්
වෙනත් අයගේ දක්ෂතා හෝ ධනාත්මක
දේවල් දැක අගේ කිරීම හෙවත්
මුදිතා ගුණය වෙනුවට අනෙක්
අයගේ දියුණුව හෝ හැකියාව පහත්
කරති. අපහාසයට,
උපහාසයට ලක්
කරති. උදා
හරණක් නම්: කෙනෙකු
ඉංග්‍රීසි ටිකක් මහන්සියෙන්
ඉගෙන, භාවිතා
කරත් නම් තවත් කෙනෙකුට ඉර්ෂියාවක්
ඇති වේ. තමන්
ඉංග්‍රීසි දන්නා පුද්ගලයා
මෙන් අනෙකා වැරැදියට කථාකරන
බව කියයි. මෙයට
හේතුව තමන්ගේ නොහැකියාව
වසාගැනීමත්, අනුන්ට
ඉර්ෂියා කිරීමත්ය.
මානය නම්
අකුසල් මානසිකත්වයද "මම
පළමුවෙනියා" ලෙස
සැලකීමට බලපායි. තමන්ගේ
තනතුරු නිතර භාවිතා කිරීම,
තනතුරු හඹායෑම
එම රෝගයේ ලක්ෂණයි.
"මම නිතරම
පළමුවෙනියා" රෝගයෙන්
පෙළෙන කෙනාට සිදුවන බරපතල
හානිය නම්: තමන්ගේ
දක්ෂතාවයන් හදුනාගෙන ඒවා
දියුණු කරගැනීමට නොසිතයි.
අනුන්ට ඊර්ෂියා
කරමින්, අපහාස
කරමින් කාලය ගෙවයි. මීට
වඩා අවසනාවන්ත දුක්ඛිත තත්වයක්
තවත් ඇතිද?
තමන්ගේ
දක්ෂතාවයන් දියුණු කරනොගත්
අය ස්වාත්ම ඵලසාධනය (self
actualization)හෙවත්
දක්ෂතාවයන් හොදින් ප්‍රයෝජනයට
නොගත්තායයි ජිවිත අවසානයේදී
පසු තැවෙති. තමාට
තමා කෙරෙහි ආදරයක්,
කරුණාවක් ඇති
නොකර ගනියි. තමා
තමන්ටම වෛර කරයි.
එහෙයින් මේ
ගැන බරපතල ලෙස සිතා "මම
නිතරම පළමුවෙනියා"
වෙනුවට තම
දක්ෂතාවයන් හදුනාගෙන කටයුතු
කිරිම තමන්ගේ සහ අනුන්ගේ යහපත
පිණිස හේතුවනු ඇත. සෑම
දෙයම ඇති වී නැතිවී යන අනිත්‍ය
ධර්මයට යටත් අපගේ ලෝකයේ ස්ථීර
වශයෙන් මම, මට,
මගේ ලෙස උපාදානය
හෙවත් තදින් අල්ලාගෙන දුක්
විදින්න තරම් දෙයක් නැත.
කරුණාව,
මුදිතාව ආදී
ගුණයන් සහිත සැහැල්ලු ජීවිතයම
සතුට කැන්දයි.