Thursday, November 9, 2017

බොන් දේශගුණික විපර්යාශ සමුළුව සහ අපගේ වගකීම්



බටුවංගල සමිද්ධි හිමි


රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ, පරිසරවෙදීන්ගේ, සමාජ ක්‍රියාකාරීන්ගේ සහ මහජනයාගේ විශේෂ අවදානය ජර්මනියේ බොන් නගරය වෙත යොමු වී ඇත්තේ මේවන විට 2017 ලෝක දේශගුණික විපර්යාශ සමුළුව පැවැත්වෙන බැවිනි. මෙවර සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ 2015 දී පැරිස් සමුළුවේදී සම්මත කරගත් ගෝලීය උෂ්ණත්වය 1.5 දක්වා පාලනය කරගැනීමට අදාළ සම්මුතීන් ක්‍රියාත්මක කිරීමයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් සමුළුවේ සම්මුතීන් නොසලකාහරින පසුබිමක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබද විශ්වාසය අඩු බව හැගෙයි. නමුත් පැසිෆික් දූපත් ගෝලීය උෂ්ණත්වය නිසා අනතුරට මුහුණපාන තත්වයක් තුළ, විවිධ ප්‍රදේශවල ඇතිවී ඇති අහිත කර දේශගුණික බලපෑම් සලකා බලන විට තම තමන්ගේ වගකීම් මගහැරීමට නොහැක. මන්දයත් අපි සියල්ලෝ යහපත් පරිසරයක ජීවත්වීමට කැමැතිවෙමු.

රජයට, ආණ්ඩුවලට මේ සම්බන්ධව සියල්ල කළ නොහැක. සියලුදෙනා අවධානයෙන් සහ සැලකිල්ලෙන් තම වගකීම් සහ යුතුකම් තිරසාර පරිසරයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුය. එය අනුන් සදහා නොව තමන්ගේම යහපත සදහාය.

අපි කිසිවෙකුට තනියම සියල්ල කළ නොහැක. අපි තනියම කළායයි සිතන බොහෝ දේ සදහා තව බොහෝ අය සහභාගී වී ඇත. "ඉති ඉමස්‌මිං සති ඉදං හොති, ඉමස්‌සුප්‌පාදා ඉදං උප්‌පජ්‌ජති"යන හේතු-ප්‍රත්‍ය ධර්මයට අනුව දෙයක් පවතින්නේ තවත් හේතූන් සහ ප්‍රත්‍යන් නිසාය. තිෂ් නතාන් නම් සෙන් බෞද්ධ යතිවරයාණෝ මෙය අලංකාරමත් ලෙස කාව්‍යට නගති.
"ඔබ කවියෙක් නම් තෙරුම්ගනීවි ඔබ ඇතැති කොලය වළකුලකින් පා වී ආ බව. වළකුළුවලින් තොරව වැස්ස නොපවතී. වැස්ස නැතිව ගස් නොවැඩේ. ගස් නැතිව කොල නිෂ්පාදනය කළ නොහැක. වළාකුළුවල පැවැත්ම කොල ඇතිවීමට හේතු වේ. වළාකුළුවලින් තොරව කොල නොපවතී. එහෙයින් වළාකුළු සහ කොල අතර අන්තර් සම්බන්දයක් ඇත „(Thich nhat hanh,The Heart of Understanding).
මෙයින් සියලු දේ අතර අන්තර් පැවැත්ම මනාව වැටහේයි.

 අපගේ සුළු ක්‍රියාකාරකම පවා ප්‍රතිඵල ඇති කරවයි. තමන්ගේ ගෙවත්ත අලංකාරය කරන දේ පවා ජීවිතයට සුන්දරත්වයක් එකතුකරයි. ගෙවත්ත කාන්තාරයක් නොකොට ප්‍රයෝජනවත් ගස් වගා කිරීම ආර්ථික වශයෙන් ලාභයක් මෙන්ම පාරිසරික මෙහෙවරකි. ගස් වැල් රෝපණය සදා පින්වැඩෙන පිංකම් ලෙස බුදු දහමෙන් උගන්වන්නේ උසස් අධ්‍යාත්මික ගුණාංග, හැගීම් ඉන් වැඩෙන බැවිනි. තමන්ගේ අතින් රෝපණය කරණ ලද ගසක මල්, ගෙඩි දකින විට ඇතිවන සතුට මිලදී ගත නොහැක. සතා සිව්පාවුන්ට එම ගස නවාතැනක් වන විට සිත් පිනායෑම පින් සිතකට වැළැක්විය නොහැක.


 
දෛනික ජීවිතය පරිසරහිතකාමී ලෙස සකසාගැනීම අතිශයින්ම සුන්දරය. ඉවත දමන ටොපි කොළය අසිහියෙන් සිටින ඕනෑම තැනක නොදැමීමට සිහිය තිබීම කොතරම් නම් අගය කළ යුතුද? තමන්ගේ අතින් බැහැර කරන සුන්බුන් ආදිය පරිසරයට හානි නොවන ලෙස බැහැරකිරීම වැදගත් පුරුද්දකි. පොලතින් ආදිය පිළිස්සීම විෂ වායු පරිසරය මුදාහැරීමකි. පොලිතින් ආදී ඉක්මණින් නොදිරන දෑ එක තැනෙක එකතු කර තැබීම හෝ අදාළ ස්ථානයකට බාරදීම සුදුසුය.

පරිභෝජනය කළ යුතු වන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගැනීමටය. ගෙයක්, වාහනයක් ආදිය පරිහරණය කළ යුතුවන්නේ තමන්ගේ අවශ්‍යතාවයට හැර එවායින් සමාජයේ නම්බුවක්, ඉහළ තැනැක් අපේක්ෂාවෙන් නොවීම ජීවිතය පහසු කරනු ඇත. ඇතැම්හු පරිභෝජනවාදයක පැටලැවී තට්ටු දෙකේ නිවාස, ලීසිංගෙවන අධි සුඛොපභෝගී වාහන පසුපස හඹායති. මෙවැනි දේ පැති ගණනාවකින් අපගේ පරිසරය විනාශකරති. වැදගත් සමාජවල එවැනි හිස් මිනිසුන් ප්‍රතික්ෂේප කරනු ඇත.

ආර්ථික වශයෙනුත්, මානසික වශයෙනුත් සැනසීමක් ඇතිවන්නේ දේවල් අඩු වන විටය. අවශ්‍යතාවයට තිබීම ප්‍රමණවත්ය. මුදල් තිබූ පමණින් දකින දකින දේ අත්පත්කරගන්න උත්සහ කරන අය සෑමදාම තෘප්තිමත් නොවෙති. තමන්ට ඇතිදෙය නොදකින ඔවුන් නිතර නැති දේ ගැන සිතමින් දුක් විදිති. එහෙයින් පෑන, පැන්සල, පොත, ජංගම දුරකථන, ගෙවල්, වාහන, කන බොන දේවල් ඇතුලු සියලු දේ අවශ්‍යතාවයට පරිභෝජන කිරීම පරිසරය රැකීමට දායකවීමකි.

නිකරුනේ දල්වා ඇති බල්බය නිවාදැමීම, විදුලිය අපතේ යන වෙනත් විදුලි උපකරණ භාවිතා නොකරන විට විසංදිකිරීම පවා පරිසර හිතකාමී ක්‍රියාවෝය. ඇදුම්, පාවහන් ආදිය භාවිතයේදී අඩු ප්‍රමාණයකට සීමා කිරීමද අප විසින් කළ යුතුම දේයකි.

සමාජයේ ඇතැම් දේ පිළිබද වැරදි තේරුම්ගැනීම් නිවැරැදි කළයුතුය. කෙනෙක් අරපිරිමැස්සෙන් හෙවත් තිබෙන ප්‍රමාණයට වියදම් කිරීම ඇතැම්හු දකින්නේ ලෝභකමක් ලෙසය. තවත් අය අනවශ්‍ය ලෙස දේවල් පසුපස හඹානොයති. එයද ලෝභකමක් ලෙස ඇතැම්හු දකිති. ලෝභනොවීම යනු විනාශකාරී ලෙස පරිභෝජන කිරීම නොවන බව මැනවින් තේරුම්ගත යුතුය. සමාජයේ පවතින මෙවැනි නොදියුණු අදහස් නිවරදිකිරීම ද පරිසර හිතකාමී ක්‍රියාවකි.

2050 දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩු අගයක් තබාගැනීමට නම් සියල්ලෝම ඒ සදහා තමන්ගේ වගකීම සපුරාලිය යුතුය. කොතරම් ධනය, නෑදෑයින්, මිතුරන්, සිටියත් ජීවත්වීමට සුදුසු ලෝකයක් නැතිනම් ඒ සියල්ල ඉක්මණින් අතහැර යායුතුය. පරිසර ආරක්ෂාව, සංරක්ෂණය වෙනුවෙන් අපගේ වගකීම සහ යුතුකම සුළු ක්‍රියාවෙන් පවා කළයුතු වෙමු.






Friday, October 13, 2017

ඇයි නිතරම මම පළමුවෙනියා?




බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය 

Image result for I am the first
මම තමයි හොදම කෙනා. මම තමයි දක්ෂයා. මට තමයි හොදම දේවල්, ලොකුම දේවල් තියෙන්නේ. මගේ තමයි වටිනාම දේවල්. මම, මට, මගේ බව හගවන එක මනුස්සගතියක්. නමුත් නිතරම කෙනෙක් තමන්ගෙම ලොකුකම, පුරාජේරුකම හෝ වෙනත් අය නිතරම ඉක්මවායන්න උත්සහ කරනවා නම් ඒ මානසික රෝගීතත්වයක්. මෙයින් මනුස්සයා දුකට, වේදනාවට, දොම්නසට පත් වේ. තමන්ගේ කාලය අපතේ යවයි. සමාජයේ උපහාසයට ලක්වේ. තමන්ගේ යහපත් ගුණයන් පිරිහේ.

අපි සරලව කල්පනා කරමු නිතරම තමන් කෙන්ද්‍රකරගත් කෙනෙක් පිළිබදව. එම කෙනා ආගමික ස්ථානයකට ගියත් තමන්ගේ නම කියවාගන්න කැමැතියි. අනෙක් අය ඉක්මවා කටයුතු කරන්න තරග කරයි. එසේ නොවුනහොත් දුකට දොම්නසට පත් වේ. තමන් කළයුතු දේ ගැන නොසිතයි. කාලය අපතේ යවයි. අනුන්ගේ ගුණයක්, හොදක් නොදකියි. තරගකාරීත්වය නිසා කරුණා, මුදිතා හෙවත් අනුන්ගේ යහපත් දැක සතුටුවීම ආදී ගුණයන් පිරිහීයයි.

තමන් දුකට පත්කරවන, නරක ගති ඇතිකරවන, තමන්ගේ කාලය අපතේ යවන විපරීත මානසිකත්වයක් ඇතිවීමට හේතු කිහිපයක් බලපායි. දෙමාපියන් නිතර දරුවන් තම සිතැගි අනුව පාලනය කරත් නම් දරුවාගේ පෞරුෂය ගොඩනැගෙන්නේ හීනමාන සහ අධිමානය සමගය. ඇතැම් අම්මලා, තාත්තලා දරුවන්ට අනෙක් ළමයින් පරදා ඉදිරියට යායුතුබව නිතර හගවති. එවැනි ක්‍රියාකාරකම් අගයති. ජයග්‍රහනවලදී අගේ කිරීමත්, පසුබසින විට වරද පැටවීමත් දැකිය හැකිය. මෙය දරුවාගේ අඩු පෞරුෂයක් ඇතිවීමට බලපායි

එවැනි අය වැඩිවියට පත්වීමේදී අනෙක් අය සමග එකට කටයුතු කිරීමට නොහැක. නිතර අනෙකාට වඩා පළමු තැන අපේක්ෂා කරති. මෙම තත්වයන් ඇතැම් අයගේ ප්‍රකාශයන්ගෙන් දැකිය හැකිය. තමන් වැඩ කරන තැන ප්‍රධානියා නැතිනම් දෙවෙනියා යයි අනෙක් අයට හගවති. එසේ නැතිනම් ආයතන ප්‍රධානියාගේ හොදම , හිත් දිනාගත් කෙනා ලෙස පෙන්වයි. මෙම මානසික තත්වය හැදෙන්නේ කුඩා කාලයේ දෙමාපියන්ගේ පාලනය යටතේ ඔවුන් සතුටු කිරීමට තැත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.

දක්ෂතාවයන් අඩු මිනිසුන් කිසියම් දෙයක දක්ෂ ලෙස නි‍යැලෙන මිනිසුන් පහත් කොට කතාකිරීමේ බාල, පහත් පුරුද්දක් ඇත. ඔවුන් වෙනත් අයගේ දක්ෂතා හෝ ධනාත්මක දේවල් දැක අගේ කිරීම හෙවත් මුදිතා ගුණය වෙනුවට අනෙක් අයගේ දියුණුව හෝ හැකියාව පහත් කරති. අපහාසයට, උපහාසයට ලක් කරති. උදා හරණක් නම්: කෙනෙකු ඉංග්‍රීසි ටිකක් මහන්සියෙන් ඉගෙන, භාවිතා කරත් නම් තවත් කෙනෙකුට ඉර්ෂියාවක් ඇති වේ. තමන් ඉංග්‍රීසි දන්නා පුද්ගලයා මෙන් අනෙකා වැරැදියට කථාකරන බව කියයි. මෙයට හේතුව තමන්ගේ නොහැකියාව වසාගැනීමත්, අනුන්ට ඉර්ෂියා කිරීමත්ය.

මානය නම් අකුසල් මානසිකත්වයද "මම පළමුවෙනියා" ලෙස සැලකීමට බලපායි. තමන්ගේ තනතුරු නිතර භාවිතා කිරීම, තනතුරු හඹායෑම එම රෝගයේ ලක්ෂණයි

"මම නිතරම පළමුවෙනියා" රෝගයෙන් පෙළෙන කෙනාට සිදුවන බරපතල හානිය නම්: තමන්ගේ දක්ෂතාවයන් හදුනාගෙන ඒවා දියුණු කරගැනීමට නොසිතයි. අනුන්ට ඊර්ෂියා කරමින්, අපහාස කරමින් කාලය ගෙවයි. මීට වඩා අවසනාවන්ත දුක්ඛිත තත්වයක් තවත් ඇතිද?

තමන්ගේ දක්ෂතාවයන් දියුණු කරනොගත් අය ස්වාත්ම ඵලසාධනය (self actualization)හෙවත් දක්ෂතාවයන් හොදින් ප්‍රයෝජනයට නොගත්තායයි ජිවිත අවසානයේදී පසු තැවෙති. තමාට තමා කෙරෙහි ආදරයක්, කරුණාවක් ඇති නොකර ගනියි. තමා තමන්ටම වෛර කරයි.

එහෙයින් මේ ගැන බරපතල ලෙස සිතා "මම නිතරම පළමුවෙනියා" වෙනුවට තම දක්ෂතාවයන් හදුනාගෙන කටයුතු කිරිම තමන්ගේ සහ අනුන්ගේ යහපත පිණිස හේතුවනු ඇත. සෑම දෙයම ඇති වී නැතිවී යන අනිත්‍ය ධර්මයට යටත් අපගේ ලෝකයේ ස්ථීර වශයෙන් මම, මට, මගේ ලෙස උපාදානය හෙවත් තදින් අල්ලාගෙන දුක් විදින්න තරම් දෙයක් නැත. කරුණාව, මුදිතාව ආදී ගුණයන් සහිත සැහැල්ලු ජීවිතයම සතුට කැන්දයි.