Sunday, February 21, 2016

වෙනසකට මුල පුරමු (කොටස 2)

යහපත් දැක්ම සුවදායී වෙනසකට

විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ

අධ්‍යාත්මික වෙනසකට ආකල්පම වෙනසක් අවශ්‍යමයි. බුදු දහමේ ආර්ය අෂ්ඨංගික මගෙහි පළමු කරුණ සම්මා දිට්ඨියයි. යහපත් දැකීමෙන් තොරව අධ්‍යාත්මික දියුණුව නොපවතී. . යහපතෙන් අයහපත හදුනාගැනීමත් අයහපත දුරු කොට යහපත වැඩිකිරීමත් නිවරැදි දැක්ම මත පදනම් වේ. වැරදි දැක්ම නිතර අයහපතට යොමු කරවයි. එහෙයින් නිවැරදි දැක්ම ඉතාම වැදගත් ප්‍රවේශයයි.. අධ්‍යාත්මික වෙනසක ආරම්භයයි.

වෙනසක් ඇතිකරගැනීම ඇතැම්විට රැඩිකල්ය. තවත් විටෙක විප්ලවීයයි. එමෙන්ම සන්යමශීලියි. වෙනසක් උණාදැයි නොතෙරෙන තරමට සෙමෙන්ය. යහපත් අරමුණක් මත පදනම් වන වෙනස, ජීවිතයට ධනාත්මක ප්‍රතිඵල ඇතිකරන වෙනස ඒ ඒ අවස්ථාවට අනුව විවිධ විය හැකිය. අධ්‍යාත්මික වෙනෙස සෙමෙන් කාලය සහ අත්දැකීම් සමග හෝ වේගයෙන් සිදුවිය හැකිය. එය අවබෝධය සමග සිදුවන්නකි. එමෙන්ම සම්පූර්ණයෙන්ම යහපත් දැක්ම මත පදනම් වේ.

යහපත් දැක්ම ඕනෑම නිරෝගිමත් මිනිසෙකුට පුහුණු කළ හැකිය. මෙහි නීරෝගි මිනිසා යනු මානසික ආබාධවලින් තොර සිතීමේ සහ විමසීමේ හැකියාවයි. ආගම්, ජාති, කුල, පංති, දේශපාලන, උගත්/නූගත් හෝ වෙනත් වෙනස්කම්වලින් තොරව සෑම නිරෝගිමත් මිනිසෙකුටම මෙම හැකියාව ඇත. නමුත් මෙම හැකියාව හදුනාගෙන කටයුතු කරන්නේ ඉතාම සුළුතරයකි.


අධ්‍යාත්මික දියුණුව ගැන සිතන විට අපට නිතැතින්ම මතක් වන්නේ පංසල, පල්ලිය වැනි ස්ථානයන්ය. ආගමික ස්ථාන වූ පමණින් සෑම ආගමික ස්ථානයක්ම අධ්‍යාත්මික ස්ථාන නොවිය හැකිය.. ආගමික ස්ථානයක් ජනතාවගේ ආකල්ප ධානාත්මකව සහ යහපත් අන්දමින් වෙනස් කිරීමට සමත් විය යුතුය..
මෙයින් අදහස් කරන්නේ නපුර, තරහව,තරගකාරීත්වය වැනි ලාමක හැගීම් ඇතිකරවන ආකල්ප, අදහස්, බලාපොරොත්තු වෙනස් කිරීම සහ තමන් සහ සියලු සත්වයන් කෙරෙහි සංවේදීවීමත්ය. . මෙය සෑම ආගමික ආයතනයකින්ම සහ සෑම ආගමික පූජකවරුන්ගෙන් හෝ නායකයෙන්ගෙන් නොලැබේ.

ආගමික නායකයෙක්, පූජකයෙක් වූ පමණින්ම අධ්‍යාත්මිකව දියුණු පුද්ගලයෙක් ලෙස සැලකිය නොහැකිය. ආකල්ප වෙනසක් සිදුවී නැත්නම් අධ්‍යාත්මික දියුණුවක් ඇතිවිය නොහැක. ආගම්, වර්ගයා, ජාතිය, කුලය ආදිය මූලික කරගනිමින් වෙනත් ජන කොටසකට එරෙහිව ක්‍රියා කරන ආගමික පූජකවරු කොතරම් සිටිත්ද? අනෙක් අතට තමන්ගේ නැති සීලය පෙන්නා හෝ විජ්ජා පෙන්වමින් ජනතාව ඉදිරියේ කපටිකම් කරන හාමුදුරුවරු මෙන්ම තවත් පූජකවරු කොතෙක් සිටිත්ද? මාධ්‍ය මගින් පිංකම් ප්‍රදර්ශන පවත්වා ජනතාව සූරාකන ආයතන කොතෙක්ද? මෙවා අධ්‍යාත්මික ආයතන හෝ පුද්ගලයන් ලෙස සැලකිය නොහැක.

අධ්‍යාත්මික ආයතනයක් මෙන්ම පුද්ගලයෙක් සතුවිය යුතු 
ගුණාංගයක් නම් සමස්ත සත්වයා කෙරෙහි සංවේදීවීමයි. යහපත් ආකල්ප මෙන්ම හැගීම්වලින් බලසම්පන්නවීමයි. බුදු රජාණන් වහන්සේ සියලු ධර්මයන් හෙවත් අත්දැකීම් මනස පෙරටු කොට, ප්‍රධාන කොට පවතින බව දෙසූහ.ප්‍රසන්න වූ මනසක් සහිතව කථා කරයිද, ක්‍රියා කරයිද, තමන් අත්නොහැර යන සෙවනැල්ල මෙන් හෙතෙම සැම විටම සැපතට පත්වේ. එනම් යහපතෙහි හැසිරීමෙන් සතුට ඇතිකරයි. තමන් යහපත් දෙයෙහි නිරත වූවායයි සෑහීමකට පත්වේ. යහපතෙහි හැසිරීමට නම් යහපත් දැක්ම අනිවාර්ය වේ.

යහපත් දැක්ම ඇතිකිරීමට නිවැරදි අභ්‍යාසයක් නම් තම මනස සහ සිතිවිලි, වචන,කායික ක්‍රියාවන් පරීක්ෂා කිරීමයි. මෙම ක්‍රමය බුදු රජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට අනුදැන වදාළහ. සිතුවිලි පරීක්ෂා කරන්න. මේ මේ සිතුවිලි ක්‍රියාත්මක කළොත් තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙනවාද? අයහපත ගෙනදෙනවාද? තමන්ට සහ අනුන්ට යහපත ගෙනෙදෙන බව තමන්ටම වැටහේ නම් එම සිතුවිලි ක්‍රියාත්මක කිරීම සුවගෙන දේ. වචන පිටකිරීමට පෙරද මෙම ක්‍රමයම අනුගමනය කළ හැකිය. එය කායික ක්‍රියාවන්ටද එසේමය.

යම් කෙනෙකු අතීතයේදී අධ්‍යාත්මික සුව වින්දානම් ඔහු/ඇය ඉහත ක්‍රමය අනුගමනය කළේය. වර්තමානයේ කෙනෙක් එම සුවය විදින්නේ නම් දැනුත් එම ක්‍රමයම අනුගමනය කරයි. අනාගතයේදී යම් කෙනෙක් අධ්‍යාත්මික සුවවිදීද ඒත් ඉහත ක්‍රමය තුළින්මය.. එය නිවැරදි දැක්ම ඇති කරගන්නා උතුම් පිළිවෙතයි..