Saturday, September 26, 2015

වෙනසකට මුල පුරමු (කොටස 1)

2015.09.26 වන දින දිවයින පුවත්පතේ පළ වූ ලිපියකි

විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය

මූලාශ්‍ර: http://blogs.scientificamerican.com http://news.harvard.edu 



හිරුනැගෙන උදෑසනත්, හිරු බැසයන සැදෑවෙත් බුදු රජාණන් වහන්සේට පහනක් දල්වා මල්මිටක් පූජා කොට විනාඩි කිහිපයක් භාවනා කිරීම බෞද්ධයෙකුගේ දෛනික චාරිත්‍රයකි. ඉන් ලැබෙන අධ්‍යාත්මික සුවය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දරය. සැනසිලිදායකය. සිතට මෙන්ම කයටද සුවදායකය.සිතෙහි පාප සිතිවිලි අකර්මන්‍ය කොට කුසල් සිතුවිලි වැඩීමෙන් මෙම සැනසිල්ල ලැබෙන බව බෞද්ධ ඉගැන්වීමයි. මොළය පිළිබද විශේෂඥයන්ට අනුව භාවනාවෙන් සිතිවිලි රටාව වෙනස් කරවයි. මොළයේ හැඩතලයන් පවා වෙනස් වේ.

තමන්ගේ ක්‍රියාව සිහියෙන් නැතිනම් දැනීමෙන් කිරීම බෞද්ධ භාවිතයයි.. සිහියෙන්, දැනීමෙන් තොර ක්‍රියා අචෙතනිකයි. සාම්ප්‍රදායික ගෘහ වන්දනාවක් වන තෙරුවන් වන්දනාවද දැනීමෙන් සිහියෙන් කිරීමෙන්ද සිහියෙන් ක්‍රියාකිරීම පුහුණු කළ හැකිය..

පන්සිල් සමාදන්වීමේදී එහි තේරුම මෙනෙහි කර මෙම අංග පහ පිළිබදව සැලකිල්ලෙන් අද දවස ගත කරමියි සිහිගැන්වීමක් කරගත හැකිය. එම ශීලය සිතිය යුතු වන්නේ වෙනත් කෙනෙකුට තමා හරි හොද කෙනෙක් ලෙස පෙන්වීමට නොවේ. තමා විසින් තමාම රැකගැනීමටය. එම අංග පහ අතුරෙන් එකෙකින් හෝ කෙනෙක් අගතියට පත් වන්නේ නම් තමා විසින් තමන්ටම අයහපත කරගන්නේය. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රී සිත ඇති කිරීම තමන්ගේ ආරක්ෂාව සලසාගනියි..

ඉතිපිසො, ස්වාක්ඛාතො, සුපටිපන්නො ආදී ගථාවන්හි අන්තර්ගත බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර එම ගුණ තමන් තුළ පිහිටුවාගැනීමට අදිටන් කරගැනීම භාවනාවකි. උදාහරණයක් ලෙස ඉතිපිසො භගවා අරහං යන තැනෙහි සදහන් අරහං ගුණය සලකා බලමු. එහි සරල අදහස සිතිවිලිවලින්වත් නරකක් නොසිතන බවයි. එම ගුණය මෙනෙහි කරගැනීමද භාවනාවකි. මමද සිතුවිලිවලින් පිරිසිදු වෙමියි තමන්ට සිතිය හැකිය. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනාවන් ගුණ මෙනෙහි කොට තමන්ගේ ගුණ වැඩි කරගැනීමට සිහිගන්වන භාවනාවන්ය.

දෙවියන්ට සහ මළගිය ඤාතීන්ට පිංදීමද පැරණි චාරිත්‍රයකි. මෙය මෛත්‍රී භාවනාවකි. යහපත් හැගීමක් ඇතිව කෙනෙකුට පාර්ථනා කිරීම සිතෙහි ප්‍රීතිය උපදවයි. මම විසින් උපදවාගත් යහපත් සිතේ බලයෙන් ශක්තියෙන් දෙවිවරුද, මළගිය අයද සුවපත් වෙත්වායි පාර්ථනා කිරීම යහපත් ක්‍රියාවකි. එයද තවත් පින්කමකි. මන්ද හැගීමෙන් දෙවිවරුන්ට මෙන්ම ඤාතීන්ට පින් අනුමෝදන් කිරිම තමන්ගේ පරිත්‍යාගශීලී ගුණය සහ කරුණාව ඇතිකරවයි.

තවදුරටත් විනාඩි කිහිපයක් භාවනා කළ හැකිය. විනාඩි කිහිපයක් දෙනෙත් පියාගෙන පහසු ඉරියව්වකින් ඉදගෙන මම නිදුක් වෙම්වා! නිරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! ආදී වශයෙන් තමන්ට මෙත් වඩා පසුව සියලු සත්වයන්ට මෙත් වැඩිය හැකිය. ඉන්පසුව තමන්ගේ හුස්මරැල්ලට සිහිය පිහිටුවා අනාපාන සති භාවනාව කළ හැකිය. මේ සදහා නියමිත නිශ්චිත වෙලාවක් නැත. නීති නැත. පහසු වේලාවක තමන්ට පුළුවන් ප්‍රමාණයට පුහුණු කළ හැකිය.

අධ්‍යාත්මික භාවිතාවන්හි ප්‍රතිඵල ගැන සැලකිලිමත් වන විද්‍යාඥයෝ ඉහත සදහන් දෛනික ක්‍රියාවක බලපෑම වර්තා කරති. හාවඩ් පර්යේෂකයන් සති 8ක් සතිය පුහුණු කිරීමේ අභ්‍යාසයන්හි නිරත විය. සහභාගීවූවන් තම මනසේ ක්‍රමක් ක්‍රමයෙන් සිදු වූ වෙනස්කම් ලියන ලදි. භාවනා කිරීමෙන් එම කාලය තුළ කායිකව වෙනස්කම් මොළයේ වෙනස්කම් වලට හේතු වූ බව තහවුරු විය..

මැස්සචූසෙට්ස් හි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහ රෝහල විසින් මෙම පර්යේෂණය මෙහෙයවන ලදි. පර්යේෂණ මාතෘකාව: සිහිය වැඩීමේ භාවනා වැඩසටහන සමග සති 8ක්. ආසන්න වශයෙන් දිනකට විනාඩි 27ක් පමණ භාවනා උපදෙස් හඩ පටයකට පර්යේෂණ කණ්ඩායම සවන් දුන්හ. සතියකට වරක් සාකච්ඡා පැවැත්වීය. අවසාන සති දෙකේදී මොළය ස්කෑන් ඡයාරූප ( Magnetic resonance imaging scans – MRI) ගන්නා ලදි. පහත පළ වන්නේ එම ඡායාරූපයක ප්‍රතිඵල පෙන්නුම් කරන දත්ත ඡායාරූපයකි.

මෙම පර්යේෂණයේ නිගමනය වන්නේ භාවනා කිරීමෙන් මොළයේ ශෛල වැඩෙන බවත් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවන බවත්ය. තෙරුවන් වන්දනාව සිහියෙන් යහපත් හැගීමෙන් අවබෝධයෙන් කිරීම භාවනාවකි. ඉන් ලැබෙන ප්‍රතිඵල සුවදායකය. සිහිය පවත්වාගැනීම එහි ඉහළම ප්‍රතිඵලයයි. සිහියෙන් දෛනික වැඩ කටයුතු කළ හැකිය. කේන්තිය, තරහව, නුරුස්සනගතිය ආදී තව නොයකුත් දුක්සහගත වේදනාවන්, හැගීම් පලනය කොට සමනය කළ හැකිය.නොවැදගත් දෙයින් වැළකීමේ සිහිය මෙන්ම වැදගත් දෙයෙහි නිරතවීමේ සිහියද පවත්වාගැනීමට හැකිවෙනු ඇත. දවසින් දවස බොහෝ වැඩ සමගම මරණය කරා ගෙවෙන ජිවිතය අධ්‍යාත්මික වෙනසකට පත් කළ හැකිය.