දඹදිව වන්දනාව අසිරිමත් වන්නට..
ශ්‍රී ලාංකීය බෞද්ධයෝ ඉමහත් ශ්‍රද්ධාවෙන් දඹදිව වන්දනා කරති. අවුරුදු ගණනාවක් තිස්සේ දුක් මහන්සියෙන් හම්බ කරගත් ඉතිරි කරගත් මුදලින් දඹදිව වන්දනා කිරීම භාග්‍යයකි. ලෝක සිතියමේ දඹදිව නමින් රටක් නැත. ඉන්දියාව නමින් රටක් ඇත. පාලි සාහිත්‍යයට අනුව ජම්බුදීප යනුවෙන් අතීත ඉන්දියාව හඳුන්වා ඇත. සිංහලෙන් දඹදිව ලෙස ව්‍යවහාර කෙරේ. දඹදිව යන වචනයෙන් වර්තමාන ඉන්දියාව හඳුන්වන බව බොහෝ ශ්‍රද්ධාවන්තයෝ නොසිතති. දඹදිව යන වචනයෙන් සංකේතවත් කරගන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ උතුරු ඉන්දියාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෲන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ ඉපදුණු, සම්මා සම්බුද්ධත්වයට පත් වූ සහ පිරිනිවන් පෑ ස්ථාන සහ උන්වහන්සේ ජීවත්වූ භූගෝලීය අවකාශයයි.
දඹදිව වන්දනාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව පහන් සංවේගය උපදවයි. ශ්‍රද්ධාව වර්ධනය කරවයි. ලුම්බිණිය උන්වහන්සේගේ ජන්ම භූමියයි. මගධ රාජ්‍යයේ කොටසක්ව පැවැති මෙම ප්‍රදේශය අද නේපාලයේ කොටසකි. කිs්‍ර.පූ. 6 වැනි සියවසේදී ක්ෂත්රීය පවුලක සුද්ධෝදන සහ මහාමායා දෙමාපියන්ට පාලක ප්‍රභූ පවුලක උපන් පුත් කුමරා සිද්ධාර්ථ නම් විය. දරුවකු ඉපදීමට දස මසක් සම්පූර්ණවෙමින් සිටියදී මහාමාය දේවියට චාරිත්‍රානුකූලව සිය දෙමාපියන් බැහැදැකීමට සිත්වූවාය. සපිරිවර සහිතව යන ගමනේදී ප්‍රසුත වේදනාව උග්‍රවිය. සේවක, සේවිකාවෝ සියලු කටයුතු කළහ. සුපින්වත් සිද්ධාර්ථයාණෝ ලොව උපන්හ. මහාමායා දේවිය, සුද්ධෝදන සහ සියල්ලෝ සතුටු වූහ. පියකුගේ පැතුම සිය පුතු ඉහළින්ම ඔසවා තැබීමය. සුද්ධෝදනට අවශ්‍ය වූයේ සිය පුතු තම රාජ්‍යයේ අනාගත රජු ලෙස දැකීමටය. පාලකයකුට අවශ්‍ය ශිල්ප කුසලතාවය, නිසි වයසේ ආවාහ-විවාහ ආදිය සපුරාදීමට යුහුසුලු විය.
සිද්ධාර්ථ උඩුගම් බලා යන තරුණයෙකි. සෑම දෙයෙහිම විචක්ෂණශීලීය. යථාර්ථය සොයයි.අත්දැකීමෙන් ජීවිතාවබෝධය ලබයි. මිනිසුන්ගේ අනේකදුක්ඛයන් ගැන සැලකිලිමත්ය. රාජ තේජසින් ඉපිලී නොයයි. රෝගීවීම, මහලුවීම, මරණයට පත්වීම අත්දැකීමෙන් අවබෝධ විය. තරුණ සිද්ධාර්ථට ඇත්තේ එතෙක් නොවිසඳුණු ගැටලුවකි. එනම් දුක ඇතිවන්නේ ඇයි? යන්නයි. ඉන් මිදීමට මග කුමක්ද? යන්නයි. නමුත් සුද්ධෝදන පියා සිය පුතුගේ හැසිරීම ගැන නොසතුටු විය. ගිහිගෙයින් නික්මුණොත් අනාගත පාලකයා ලෙස ඔටුනු පැළඳවීමේ සිහිනය බොඳවන්නේය. සිය පුතු ගිහි ගෙයෙහි රඳවා ගැනීමට උපක්‍රම යෙදවීය. සැපයිය හැකි සියලු ලෞකික සම්පත් සැපයීය.
සිද්ධාර්ථ සමය දඹදිව ඥාන ප්‍රබෝධ සමයකි. ගිහිගෙය අත්හැර තවුස් ප්රතිපදාවන් අනුගමනය කළ පිරිස් බහුල විය. සත්‍ය කුමක්දැයි සෙවීමට යුහුසුලු වන සමාජයකි. සත්‍ය සෙවීමට ගිහිගෙය අත්හැරීම බොහෝ බන්ධනයන්ගෙන් නිදහස් වීමකි. ඔවුන්ට ඇත්තේ සත්‍ය සෙවීමේ අරමුණ පමණකි. සිද්ධාර්ථ වඩාත් කැමැති වූයේ ඔවුන්ටය. බොහෝ දෙනෙක් සැපතක් ලෙස සිතන පතන රජකම අත්හැර තවුසන් බවට පත්වූහ.
ගිහිගෙය අත්හළ සිදුහත් පැමිණියේ නේරංජනාවටය. එදා නේරංජනා ප්‍රදේශය සුන්දරය. සශ්‍රීකය. විවිධ ප්රතිපදාවන් අනුගමනය කරන්නෝ බහුලය. රාජ භෝජන වැළ» සිදුහත්ට යකඩ පාත්‍රයක් අතින් ගෙන ගෙයින් ගෙට හිඟමනේ ගොස් එකට මිශ්‍ර වූ ආහාර අනුභව කිරීම පිළිකුල් විය. නමුත් විමුක්තිය අධිෂ්ඨාන කරගත්තේය. විමුක්තිය අවබෝධය පිණිස ක්‍රියාකරන සිදුහත් ආලාරකාලාම, උද්ධකරාමපුත්ත ආදීන් අවබෝධ කරගත් විමුක්ති මාර්ග මැනවින් ඉගෙන ගත්තේය. බොහෝ ඥනයන් වර්ධනය විය. නමුත් විමුක්තිය සම්පූර්ණ නොවීය. සය වසක් ශරීරයට දැඩි දුක් දෙමින් (අත්ථකිලමතානුයෝගය) පවත්තඵල භෝගී නම් තවුස් ප්‍රතිපදාව අනුගමනය කළේය. වර්තමානයේදී එම ස්ථානය ලෙස විශ්වාස කරන්නේ බුද්ධගයාවට කි.මී. 8 ක් පමණ දුරින් පිහිටි නේරංජනා ගඟෙන් එතෙර දුර්ගේශ්වරී කඳු වැටියෙහිය. නමුත් පුරාවිද්‍යාත්මක සාධක නැත. ටිබෙට් ලාමාවරුන් එම ස්ථානය පාලනය කරනු ලැබේ. හින්දු පිරිසක්ද එම ස්ථානයෙහි රැඳී සිටිමින් හින්දු වතාවත් සිදුකරන බව පෙන්වයි. ලාභය පිණිස ආගමික ස්ථාන අත්පත් කර ගැනීමේ තරගයක් නිර්මාණය වී ඇත.
සය වසකට පසුව අත්ථකිලමතානුයෝගය නිෂ්ප්රයෝජන බව තේරුම්ගත් සිදුහත් තවුසාණෝ එය අත්හළහ. කුඩා අවධියේදී ආනාපානසති භාවනාව කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. විමුක්තිය පිණිස තෝරාගත්තේ ආනාපානසති භාවනාවයි. සත්‍යාවබෝධයෙන් තොරව නොනැගිටිමියි යන අධිෂ්ඨානයෙන් ඇසතු වෘක්ෂ පාද මූලයෙහි සමවත් සුවයට පිළිපන්හ. වෙසක් පොහෝ දිනක සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. සියලු දේ අවබෝධ කළහ. සම්මා සම්බුද්ධත්වයට පත්වූ උතුම් ස්ථානය බුද්ධගයාවයි. බුද්ධගයාව බෞද්ධයන්ගේ ගෞරවයට, පූජනීයත්වයට පාත්රවන උතුම්ම ස්ථානයයි. වර්තමාන බුද්ධගයාව හින්දුන්ගෙන් බේරාගැනීමේ ක්‍රියාවලියේ පුරෝගාමියා අනගාරික ධර්මපාලතුමාය. එතුමන්ගේ උපක්‍රමශීලී සහ එඩිතරභාවය නිසා බෞද්ධයන්ට එම ස්ථානය උරුම විය.
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට සුදුසු කාලය, ධර්මය අවබෝධ කිරීමට සුදුසු පුද්ගලයන් සොයා බැලූහ. විමුක්ති මාර්ගයේ මුල් ගුරුවරුන් ජීවතුන් අතර නැත. තමන් සමග විමුක්තිය පිණිස කටයුතු කළ පස්වග මහණෝ ජීවත්ව සිටිති. ඔවුන්ට ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූහ. zමහණෙනි, පැවිද්දන් විසින් සේවය නොකළ යුතු අන්ත දෙකක් ඇත. ඒ කවර අන්ත දෙකක්ද? හීන වූ, ග්‍රාම්‍ය වූ, සාමාන්‍ය පොදු ජනයාට අයත් වූ, අනාර්ය වූ, අනර්ථය ගෙන දෙන්නා වූ කම්සුවයෙහි ඇලී ගැලී විසීම (කාමසුඛල්ලිකානුයෝගය) හා දුක්බර වූ, අනාර්ය වූ, අනර්ථය ගෙන දෙන්නා වූ තමාටම වධ දීමයි. (අත්තතකිලමථානුයෝගය) මෙම අන්ත දෙකට නොවැටී තථාගතයන් විසින් දැක්ම ගෙන දෙන, ඥානය ගෙන දෙන මනා අවබෝධය හෙවත් සම්බෝධියද නිර්වාණයද සඳහා පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගන්නා ලදී.
මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් මනා දැක්ම, මනා කල්පනාව, මනා වචනය, මනා කර්මාන්තය මනා ජීවන වෘත්තිය, මනා ප්රයත්නය, මනා එළැඹ සිටි සිහිය හා මනා සිත් එකඟතාවයි. මේ උතුම් ධර්මය දේශනා කළ ස්ථානය බරණැස ඉසිපතන මිගදායයි. වර්තමානයේදී මූලගන්ධකුටි විහාරය සැදැහැවතුන්ගේ ඉමහත් පූජනීයත්වයට පාත්රවී ඇත. අනගාරික ධර්මපාලතුමන්ගේ අනගි මෙහෙවර සිහිකැන්දන ස්ථානයකි. විහාරය වන්දනා කරන බොහෝ පින්වත්හු එතුමාට පිං අනුමෝදන් කිරීමට අමතක නොකරති.
බුදුරජාණන් වහන්සේ අන්තවාදී නොවූ ශාස්තෲන් වහන්සේය. කිසිම දෙයක් අන්ධානුකරණයෙන් ග්‍රහණය නොකරන්නැයි දෙසූහ. වක්කලී හිමියන්ට දේශනා කළ පරිදි තම ශරීරය දැකීමට නොව ධර්මය දැකීමට උත්සාහ කරන්නැයි දෙසූ ශාස්තෲන් වහන්සේය. අලගද්දූපම සූත්‍රයේදී ධර්මය පහුරක් කරගන්නැයි බුදුහු දෙසූහ. පහුර භාවිතකොට ගඟ තරණය කරමු. ගඟ තරණයට භාවිත කළ පමණින් පහුර ඔසවාගෙන නොයයි. ධර්මයද එසේමය. සසරින් එතෙරවීමට, දුක නැති කිරීමට ධර්මයෙහි හැසිරිය යුතුය. නමුත් කර මතට ඔසවා නොගත යුතුය. බොහෝ අඳ බාල මිනිසුන් ධර්මයෙහි හැසිරෙනවාට වඩා ධර්මය කර ගහ ගැනීම සුලබය. එයින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට දුෂ්කරය.
සිතීමේ හා තීරණය කිරීමේ නිදහස අගේ කළහ. කාලාම සූත්‍රය ඒ බව තහවුරු කරන ප්‍රකාශයකි. බොහෝ ආගමික නායකයෝ තමන්ගේ ඉගැන්වීම් තොරව සත්‍යයක් නැතැයිද එයම පිළිගත යුතු බව දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ තම නුවණින් සිතමින්, විමසමින් යමක් පිළිබඳව තීරණය කිරීම බුද්ධිමතුන්ගේ ලක්ෂණයක් ලෙස අගේ කළහ. ආරංචි විශ්වාස කිරීම, මෙසේ වන්නට ඇතැයි යන අනුමානය විශ්වාස කිරීම, පොත පතෙහි සඳහන්වූ පමණින් විශ්වාස කිරීම, තර්කයට ගැළපුණු පමණින් පිළිගැනීම, න්‍යායට ගැළපුණු පමණින් පිළිගැනීම, කරුණු හොඳය කියන පිළිවෙළ හොඳය සිතා යමක් පිළිගැනීම, තමන්ගේ රුචිකත්වයට අනුවම පිළිගැනීම, විවිධ පුද්ගලයන්ට ඇති ගෞරවය නිසාම පිළිගැනීම, ගුරු ගෞරවය නිසාම පිළිගැනීම ආදී ලෙස විමසීමකින් තොරව යමක් පිළිගැනීම අනුවණ තැනැත්තන්ගේ ලක්ෂණයකි. තමන්ගේ තීරණ ක්‍රියා තම යහපත පිණිස, අනුන්ගේ යහපත පිණිස පවතී නම් එවැනි දේ පිළිගත යුතු බව දෙසූහ.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සමාජ සහ මානසික සමානාත්මතාව තහවුරු කිරීමට උපකාරී වේ. බ්‍රාහ්මණ ඉගැන්වීම් මත තහවුරු වී තිබුණු කුල ක්‍රමය තර්කානුකූලව ප්‍රතික්ෂේප කළහ. සිව් කුලයෙන් පැවිදිවූවන් එකම සංඝ සමාජයක් ලෙස තහවුරු කළහ. කුල ක්‍රමය නොසලකාහැරිය නිසාම බ්‍රාහ්මණ කුලයෙන් විවිධ බලපෑම් එල්ල විය. බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වූවන්ගේ ඇතැම් ක්‍රියාවන්ගෙන්ද එය පැහැදිලිය. කාන්තාව පිළිබඳ සාම්ප්‍රදායික මතවාද සමාජ විරෝධය නොනැගෙන ලෙස ප්‍රතික්ෂේප කළහ. කුලය මත හෝ ලිංගික පදනම මත හෝ පුද්ගලයකුගේ උසස්, පහත් බව, සුද්ධ විසුද්ධි බව හෝ තීරණය නොවන බවත් ක්‍රියාව උසස් හෝ පහත් බව තීරණය වන බවත් දෙසූහ.
මානසික සමානාත්මතාවය ඒකාග්‍රතාවයෙන් ඇති වේ. මානසික ඒකාග්‍රතාවය අකුසල් ප්රහීනවීමෙන් වර්ධන වේ. මනස සෙලවීමෙන් මානසික ඒකාග්‍රතාව පහව යයි. එනම් අකුසල් මානසිකත්වයෙන් සැලෙයි. අටලෝ දහමින් කම්පාවට පත්වේ. මානසික සමානාත්මතාවය ඇතිවන්නේ එමගින්ය.
බුදුරජාණන් වහන්සේ දැහැමි දේශපාලන, ආර්ථික ක්‍රියාවලියක් අනුමත කළ සේක. අත්තනෝමතික, ඒකාධිපති ජනතාව සූරාකන පාලකයෝ ප්‍රතික්ෂේප කළහ. පාලකයන්ගේ දැහැමි බව සඳහා දස රාජ ධර්ම, දස සක්විතිවත් ආදී ධර්මයන් දෙසූහ. එකිනෙකා සූරාකෑමට ලක්වන, තවත් කෙනකුට අයහපත ගෙනදෙන ජීවනෝපායන් ප්‍රතික්ෂේප කළහ. දැහැමි වෘත්තීන්, ව්‍යාපාර, රැකී රක්ෂා අනුමත කළහ. සමාජ ඒකාග්‍රතාවය, ප්‍රගතිය සඳහා යහපත් පවුල් පරිසරයක් අවශ්‍ය බව උන්වහන්සේ අවබෝධ කළහ. සිඟාලෝවාද සූත්‍රයේදී ස්වාමි-භාර්යා, දෙමාපිය, දූ-දරු, සම්බන්ධතා එකිනෙකා යුතුකම් හා වගකීම් ඉටුකරමින් ජීවත්වීම අනුමත කළේ ඒ සඳහාය.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර පන්සාලිස් වසරක් ගම්-නියම් ගම් සැරිසරමින් රජ මැදුරේ සිට පැල්පත තෙක් සියලු ජනී ජනයා වෙනුවෙන් දහම් දේශනා කළේ සමස්ත සත්ව සංහතියේ හිතසුව පිණිසය. එබඳු ශේ්රෂ්ඨ උත්තම බුදුරජාණන් වහන්සේ අසූවැනි වියේදී සියලු සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය, අනිත්‍යතාව පෙන්වමින් පිරිනිවන් පෑහ. ඒ කුසිනාරාවේදීය. එම ස්ථානයේ ගුප්ත සමයට අයත් පිරිනිවන් පෑ පිළිමයකි. සංවේගය උපදවයි.
බුදුරජාණන් වහන්සේ අසමසම මිනිසෙකි. ෙද්‍රdaණ බමුණාට තමන් පිළිබඳව ප්‍රකාශ කළේ තමන් දෙවියෙක්, බමුණෙක්, ගාන්ධර්වයෙක්, මිනිසෙක් නොවන බවයි. අසමසම මිනිසෙක් බවයි. උන්වහන්සේ නෙලුම් මලක් වැනිය. ජන සමාජයේ ජීවත් වූහ. නමුත් ජනයාගේ අකුසලයන් සමග සම්බන්ධ නොවූහ. උන්වහන්සේ පිරිනිවන් පෑමෙන් සියවස් ගණනාවකට පසුව සාහිත්‍යයෙන් නිරූපිත බුදුන් වහන්සේ මිනිසකු නොව, ඇදහිය නොහැකි අසාමාන්‍ය කෙනෙකි. නමුත් සැබෑ බුදුරජාණන් වහන්සේ යනු මනුෂ්‍යයෙකි. නමුත් අසමසමය. සුත්ත නිපාතයට අනුව බුදුරජාණන් වහන්සේ ( උසය, හීන්දෑරිය, නොසැලෙන සේක, අල්ප වූ ආහාර ඇති සේක, කිසි දෙයක නොඇලෙති, වන වැද බවුන් වඩති á ලොබලිය ලියලවන වස්තුන්හි අපේක්ෂාව හැරපියා සිංහයකු මෙන් හුදෙකලාව හැසිරෙති.
දඹදිව වන්දනාවෙන් ඓතිහාසික බුදුරජාණන් වහන්සේ යළි මතක් වේ. බොහෝ ශාස්තෲවරුන්ට වඩා බුදුරජාණන් වහන්සේ ඓතිහාසිකය. පුරා විද්‍යාත්මක සාක්ෂි බොහොමයක් ඉතිරිවී තිබීම ඊට හේතුවයි. එම ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ විශේෂ ස්ථාන වැඳ පුදා ගැනීමට යන සැදැහැවතුන් බොහෝ දෙනා හට ඉහත දේශනාවන් කළ ඓතිහාසික බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය නැති තරම්ය.
ඓතිහාසික බුදුරජාණන් වහන්සේ ලෝකයට දැක ගැනීමට අවස්ථාවක් ලැබී ඇත්තේ ඇලෙක්සැන්ඩර් කනින් හැම් ප්රමුඛ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් නිසාය. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කළ යුතුය. ඔවුන් මතු කළ ඓතිහාසික ස්මාරක ඇතැම් අනුවණ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළ අන්ධ භක්ති නිසා විනාශයට පත් කරති. ගිහි බෞද්ධයන් මෙන්ම ඇතැම් අඳබාල භික්ෂුන් වහන්සේලාද ගිහි පින්වතුන්ගේ ප්‍රසාදය දිනා ගැනීම පිණිස විවිධ පූජාවන් ස්මාරකවල පවත්වති. මෙම අන්ධ බාල ක්‍රියාව තවත් අය පටන්ගෙන ඇත. දඹදිව වන්දනා කරන සැදැහැවතුන් එවැනි හිස් ක්‍රියාවන්හි නොඇලිය යුතුය. එම ස්ථාන ආරක්ෂා කළ යුතුය. ඉහත විස්තර කළ ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි හැසිරීමට අධිෂ්ඨාන කළ යුතුය. එවිට දඹදිව වන්දනාව අසිරිමත් වේ.
Ven. Samiddhi