Sunday, February 28, 2021

මිනිසා නොසංසුන් කරවන සංස්කෘතික උද්ධමනය

බටුවංගල ගමේ අයට ජර්මනියේ බොන් නගරයේ සිට සජීවීව ධර්ම දේශනයක් පැවැත්විය හැකිය. මෙම තාක්ෂණික වර්ධනය වේගවත් ජීවන විලාසයන් ඇති කරයි. ජංගම දුරකතනය යනු ඇමතීම පමණක් නොව, ජීවන විලාසයකි. මිතුරන් සමග වේගයෙන් සන්බන්දවීම, තමන්ගේ ව්‍යාපාර ප්‍රචාරය කිරීම, ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම, ඊට අයත්ය. දැණුම එහාමෙහා හුවමාරුව  තියුණුය. වස් කෝදගාමා රටින් රටට තරණයකලාට වඩා වේගයෙන් අපි වෙනත් රටවලට පියාසර කරමු.


ආයතනයක් නැතිව ඔන්ලයින් වලින් ගනුදෙනු කරති. දත්ත, භාණ්ඩ ගනුදෙනු අන්තර්ජාලයෙනි. මෙය නවීනත්වයයි. නවීනත්වය යනු වේගවත්වීමයි. වේගවත්වීම හෙවත් ධාවනකාරීවීම (Acceleration ) මානව ඉතිහාසයේ කවරදාටත් වඩා   අපි අත්විඳමු.

මෙම වේගවත්වීම තුළ එකිනෙකාට සම්බන්ධවන ආකාරය වෙනස් වේ. එකිනෙකා ගනුදෙනු කරන ආකාරය වෙනස් වේ. අපි ප්‍රතිචාර දක්වන විදිය ද වෙනස්ය. ඉක්මණින් ප්‍රතිචාර දැක්විය යුතුය. මෙය සමාජ ක්‍රමය වෙනස් කරවයි. නිදසුනක් නම් යම් ආයතනකින් යම් දෙයක් ගැන දැනුම් දෙන්නේ නම් අපි විසින් ප්‍රතිචාර දැක්විය යුතු කාලයක් ද නිර්දේශ කෙරේ. ප්‍රතිචාර නොදක්වන්නේ නම් එය අවලංගු වේ. වේගයෙන් අපිට දිවීමට සිදු වේ. වේගවත් නොවන්නේ නම් අපි පසුගාමී වේ.


අපේ ජීවන විලාසය වෙනස් තත්වයන්ට පත් වී ඇත . ඉක්මනිණ් ආහාරයක් ගැනීම මගින් ක්ෂණික ආහාරවලට පුරුදු වේ. ඇඳුම් විලාසිතා බහුල වී ඇත. ඇප්ස් (Apps) මගින් වේගයෙන් කියවීම, ඉක්මණින් තොරතුරු දැනගැනීම වැනි නව විලාසයන් ද පැතිරී ඇත.


නූතන-ගෝලීයකරණය මගින් භාණ්ඩ, නිෂ්පාදන පමණක් ම නොව තවත් බොහෝ දේවල් එහා මෙහා සැරිසරයි. විවිධ සංස්කෘතීන් දැකීමට මෙන්ම තමන් කැමති සංස්කෘතියක් අත්විඳීමට ද හැකියාව ඇත. අපේ ගමේ කෙනෙකුට පිස්සා එකක් හදාගැනීමට පුළුවන් වගේම බර්ලින් වල ජර්මන් කෙනෙකුට පරිප්පු ව්‍යංජනයක් පිසගැනීමට පුළුවනිය.


නූතන මිනිසා යනු විවිධ සංස්කෘතීන්ගෙන් ද රූපානුවර්තනය වූ සත්වයෙකි. කෑම, බීම, අඳුම්, ප්‍රවාහනය, භාවිතා කරණ ජංගම දුරකතනය ඇතුලු වෙනත් තාක්ෂණික මෙවලම් පමණක් නොව ආගමික විශ්වාස පවා වෙනත් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට මුහු වේ (Hybird). ඇමෙරිකානුවෙකුගේ පොත් රාක්කයේ බුදු පිළිමයක් තබා ඇති අතර ලාංකිකයෙකුගේ ගෙදරක චීන ෆිංෂුයි පිළිමයක් ඇත. මෙම සංස්කෘතික හුවමාරුව ක්ෂුද්‍ර සංස්කෘතිය ලෙස හැදින්වීමට කැමැත්තෙමි. එහෙයින් සෑම තැනම ක්ෂුද්‍ර සංස්කෘතීන් ( micro culture) ඇත.


මිනිසා තවදුරටත් මහ සංස්කෘතියක සමාජිකයෙකුට වඩා තමන්ට ආවෙනික ජීවන විලාසයක් සහිත ක්ෂුද්‍ර සංස්කෘතික සත්වයෙකි. ඔහුට/ඇයට තවදුරටත් මහ සංස්කෘතිය පරණ විලාසයකි. ඊට හොඳ නිදසුනක් නම් නව ආගමික කණ්ඩායම් බිහිවීමයි. නව ආගමික කණ්ඩායම්වලට ආවේනික උප සංස්කෘතියක් ද ඇත. මෙම තත්වය ක්ෂුද්‍ර සංස්කෘතික මිනිසාට තමන් කැමැති කණ්ඩායමක් තෝරාගැනීමේ ඉඩ සලසයි.


මහ සංස්කෘතීන්වල වටිනාකම දිනෙන් දින පහළ යමින් පවතී. තරුණ කොටස් මහ ගෙදරින් වෙන්ව නගර ආශ්‍රිතව යහළුවන් සමග එක නවාතැන්පලක් බෙදාහදාගෙන ජීවත් වෙති. පන්සල් ආරණ්‍ය වෙනුවට මිනිසුන් ගෙදරම යහළුවන් සමග යෝගාකිරීම, භාවනා කිරීම් කරති. මෙහිදී මහ සංස්කෘතියෙන් වෙන්වීම සහ අලුත් ජීවනවිලාසයකට සංක්‍රමණයවීමෙන් ගැටුමක් නිර්මාණය වේ. මහ සංස්කෘතියේ වටිනාකම පහළ වැටෙන අතර "අපේ සංස්කෘතිය" ලෙස හඳුනාගැනීමට හැකි කිසිවක් නැති හැඟීමක් ද දැනෙයි. මෙම තත්වය "සංස්කෘතික උද්ධමණයයි“.


සංස්කෘතික උද්ධමනය නම් මානසික මට්ටම මිනිසා නොසංසුන් කරවයි. මෙහිදී සිදු වන්නේ තමන් ම ක්ෂුද්‍ර සංස්කෘතියකට කැමතිවන සහ නතුවන අතර අනෙත් අතට වෙනත් ක්ෂුද්‍ර සංස්කෘතීන් ප්‍රතික්ෂේප කරයි. ඇස්ප්‍රින්, ඩිස්ප්‍රීන් බහුලව භාවිතා කරන අතර බටහිර වෙදකම ප්‍රතික්ෂේප කරයි. තවදුරටත් දේශීය වෙදකම ගැන අතිශේක්තියෙන් කතා කරයි. තමන් ආගමික වශයෙන් එක කණ්ඩායමකට එකතු වෙද්දී වෙනත් එවැනිම ආගමික කණ්ඩායමකට වෛර කරයි. මෙවැනි ප්‍රතිචාරවලින් ප්‍රකාශ වන්නේ නූතන මිනිසාගේ මානසික නොසංසුන් තත්වයයි.


වේගයෙන් වෙනස්වන තත්වයන් තේරුම්ගැනීමට, විවිධ සංස්කෘතීන් එහා මෙහා ‍යෑම දකින්න සහ අලුත් සංස්කෘතීන් අත්දකින්න නව ශික්ෂණයක් අවශ්‍යයි. කේන්තියෙන් මිදී සිදුවන දේවල් ඉවසීමෙන් බලාසිටීම හැකියාවකි. මිනිසුන් සුවපත් කරන්න නම් ඔවුන්ගේ ජීවිත කෙරෙහි සංවේදී වියයුතුමයි. සංවේදීවීම හුදු අනුකම්පාවක් නොවේ. වෙනස් වන තත්වයන් සහ මිනිසාගේ ප්‍රතිචාරයන් ගැන මැනවින් අවබෝද කරගැනීම හෙවත් සවිඤ්ඤාණකවිම අදහස් කෙරේ.


අවබෝදය යනු අත්දැකීම් සමග ජීවත්වීමයි. වෙනස් වන තත්වයන් තේරුම්ගෙන ජීවත්වීමයි. වෙනස්වන තත්වයන් දරාගැනීමට නොහැකි දේවල් වඳවීයෑම හෙවත් තුරන්වීම ස්වභාවික නියමයයි. නමුත් නූතන සංස්කෘතික වෙනස්වීම් තේරුම්ගැනීමට නොහැකි අය අතුරුදන්වීම කෙසේ වෙතත් ඔවුන් ජිවිතකාලය පුරාවට දුක්විඳීමට නියමිතය. නැතිනම් ඇකමැත්තෙන් හෝ වෙනස් වන තත්වයන්ට වෙනස්විය යුතුය.


බටුවංගල සමිද්ධි හිමි

No comments:

Post a Comment