Monday, December 31, 2018

අපෙන් තොර ලෝකය දෙසට......

මිනිසාගේ පුරුද්දක් වන්නේ තමන්ගේ අදහසට, මතවාදයට ගැලපෙන දෙවල් බාහිර ලෝකයෙන් සොයාගැනීමයි. නැතිනම් ඊට ගැලපෙන ලෙස බාහිර ලෝකය වෙනස් කිරීමට උත්සහ කරයි. හොද සහ නරක, කලු සහ සුදු ලෙස අපි පුද්ගලයන්, සිදුවීම් සහ වෙනත් දේවල් නම්කරන්නේ මේ නිසාය. අපේ ආගමට, ජාතියට, කුලයට, දේශපාලන පක්ෂයට  අයිති අය හරිහොදයි ලෙස නම් කරයි. මෙම කැමැත්ත අකැමැත්ත මත අපි සියල්ල තීරණය කරමු. හොද කෑම, අපේ කෑම, සදාචාරසම්පන්න ඇදුම ආදී සෑම දේම අපි හොද, නරක ලෙස වරග කොට ඇත්තේ අපේ ලෝකයේ කැමැත්ත මතය.

අපේ ලෝකය පමණක් නිතරම හොදයි උතුම් කියල හිතන මිනිසුන් අවිඤ්ඤාණවකම හෙවත සිහියෙන් තොරව පුලුල්ව සිතීමේ මනස වසා දමයි. බාහිර ලෝකයේ විවිධ දේවල්වලට වෛරකරමින් අගතිගාමී පුද්ගලයෙක් බවට පත් වේ. අපේ අපෙක්ෂාව අනුව පමණක් ලෝකයාදෙස බැලීම යනු දුක්ඛ දෝමනස්සයන් ඇතිකරවීමකි. මෙය උදාහරණයකින් පැහැදිලි කරමි: භාවනා කිරීමට උත්සහකරන කෙනෙකු භාවනාවේදී ලැබෙන ප්‍රතිඵල මෙවායයි තදින් අපෙක්ෂා පටන්ගන්නේ නම් ඔහුට එම ප්‍රතිඵල නොලැබෙන විට දොම්නසට පත් වේ. 
වැඩි අපෙක්ෂා නැතිව භාවනා කිරීම පටන්ගත් කල්හී මනස, සිතුවිලි,  ශරීරය සහ හැගීම් ගැන නිරීක්ෂණය කරයි. එම අභ්‍යාසය මගින් ඔහු අවබෝදයට පත් වේ.  වෙනත් දෑ නිරීක්ෂණයකොට ඒවායේ සුවශේෂතාවයන් දැක තෙරුම්ගැනීම උසස් පෞරුෂයක ලක්ෂණයකි.

Thursday, December 20, 2018

විද්‍යාව යනු සීමාමායිම්වලින් තොරව සිතීමයි = ප්‍රජාතන්ත්‍රවාදය

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මූලික ලක්ෂණය විද්‍යාව මත පදනම්වීමයි. එනම් සිතීමෙන් සහ විමසීමෙන් හේතූන් දැක සමස්ත සමාජයට යහපත සැලසීම ප්‍රජාතන්ත්‍රවාදයක පවතින ගුණයකි. එහිදී කිසිදු පුද්ගලයෙකුට හෝ ජන කොටසකට ජාතිය, ආගම්, පළාත්, අබාධිත,වෙනත් ලිංගික වෙනස්කම් හෝ වෙනත් වෙනස් කම් සලකා උසස් හෝ පහත් කිරීම සදාචාර නොවේ.

මෙම සටහන තැබීමට හේතුව නම් ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයට අවු.200ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද උත්සවයයි. එහි තේමාව නම්  "විද්‍යාව යනු සීමාමායිම්වලින් තොරව සිතීමයි"යන්නයි.
උත්සවයේ ආරාධිත දේශනය කළ ජර්මනියේ ජනපති ෆ්‍රැන්ක් වල්ටර් ස්ටයින්මයර් පවසන ලද්දේ විශ්වවිද්‍යාලයකට අවශ්‍ය සීමාමායිම්වලින් තොරව නිදහසයි. එය රාජ සංකල්පවලින් හෝ දේවත්වයකින් නොලැබේ. නිදහස්ව සිතීම යන්න සමාජය විසින් තහවුරු කළයුතුයි. සමාජය විසින් එය ආරක්ෂා කළයුතුය.  
ලංකේය සමාජයේ දියුණුව ගැන සිතින සියලු පුරවැසියනට මෙය ධනාත්මක ගුණයක් බවට පුහුණු කළහැකිය. පක්ෂ, ආගම්, වර්ගභේද, වෙනත් රටවැසියනට ගැරහීමෙන් වෙන්ව නක්ෂත්‍ර, කොඩිවින ආදී ගූඪවිද්‍යාවන්ගෙන් ඉවත්ව නිදහස්ව සිතන, අනෙකාට ගරුකරන, හේතුවිමසන, කරුණු දැක අවබෝදයෙන් කටයුතු කරන මිනිසුන් ලෙස නිදහස් මනසින් කටයුතු කළහැකිය.