Monday, February 8, 2021

අනාරක්ෂිත හැඟීම අත්හැරීමට අධ්‍යාත්මික දර්ශනය

Bildergebnis für insecurity"මිනිසා යනු එකම ලෙස ජීවත් නොවන ජීවියෙක් ", යන්න මානව විද්‍යාත්මක නිරීක්ෂණයයි. මන්දයත් මිනිසා තමන් කවුද, කෙසේ පැවතිය යුතු ද යන්න ගැන සැලකිලිමත් ය. පවුලේ සමාජකයින්, මිතුරන් සහ වෙනත් ජන සමාජයන් සමග ගනුදෙනුවක් ඇත. එය ආර්ථික සහ සමාජ පැවැත්මයි. තමන් කවුද යන්න මෙම ගනුදෙනුව මගින් පෙන්වා දෙයි

 

 

 


තමන්ට කැමති පරිදි ජීවත්වීමට එකපැත්තකින් උත්සහ කරයි. අනෙක් අතට ගොඩනගාගෙන ඇති සියලු තත්වයන් ආරක්ෂා කරගැනීමට ද වෙහෙස වෙයි. එහිදී නිදහස සහ ආරක්ෂාව පිළිබඳ අරගලයක් ද ඇත. මෙය නොනවතින අරගලයකි.

 

නිදහස සහ ආරක්ෂාව නිශ්චිතව පවතින දෙයකට වඩා විවිධ මානයන්ගෙන් සහ අංශවලින් අපට දැනෙන තත්වයකි. වෙනස් විධියකට කියන්නේ නම් නිදහස සහ ආරක්ෂාව නිශ්චිත ලෙස තහවුරු කළ නොහැක. ඕනෑම සමාජයක් තුළ අනාරක්ෂිත බව දැනෙන තත්වයන් පවතී.


කෙනෙක් තිතරම අනාරක්ෂිත බව පමණක් දකින්නේ නම් ඔහුට ජීවිතය පුරාවටම දකින්න ලැබෙන්නේ අනාරක්ෂිත බවයි. ආර්ථික අවස්ථා, දේශපාලන තත්වයන් වෙනස් වේ. නිශ්චිතව නොපවතී. නිරෝගිකම වෙනුවට රෝගී වේ. අපේ සම්බන්දතා ද වෙනස් වේ. වෙනස් නොවන්නේ කුමක් ද?

 

නූතන සමාජවලදී තවත් වේගවත් ලෙස අනාරක්ෂිත බව දැනේයි. තාක්ෂණය දියුණු වී ඇත. පැරණි සමාජවල ඉගෙන කියාගත් අය සිටියේ අඩු පිරිසකි. නූතන සමාජවල බොහෝදෙනා දැණුමෙන් සහ පුහුණුවෙන් යුක්තයි. අවස්ථාත් වැඩියි. තරඟකාරීත්වයත් වැඩියි. එහෙයින් අනාරක්ෂිත බව ද වැඩියි.


ජාතිකවාදීවීම හෝ නව ආගමික නිකායන් බෝවීම පිටුපස පවතින කරුණුකාරනා අතර එක ප්‍රබල හේතුවක් නම් නූතනත්වය තුළ මිනිසාට දැනෙන අනාරක්ෂිත බවයි. එය තේරුම් ගැනීම පහසුයි. අනාරක්ෂිත බව දැනෙන විට ඊට හේතු සෙවීම දුෂ්කරයි. ඇතිකරවන මානසිකත්වය නම් රැඩිකල් ආගමක් හෝ ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් සොයාගැනීමයි.

 

නමුත් මේවා විසඳුම් නොවේ. ටික කලකට මනස තෘප්තිමත් වේ. ඉන්පසු ඒවා ගැනද උනන්දුව නැති වේ. සාම්ප්‍රදායික ආගමික ආයතන ද නූතන මිනිසා හමුවේ ඇති අභියෝග ගැන සංවේදී නැත. ඔවුන්ටද දැනෙන්නේ අනාරක්ෂිත බවයි. මෙම හිස් තැන පුරවා ගන්නේ කෙසේ ද?

මාගේ අධ්‍යාත්මික උනන්දුව ඇති වන්නේ මෙහිදී ය. වැදගත්ම තේරුම්ගැනීම නම්: වෙනස් වන ලෝකයේ කවදාවත් නිශ්චිත "ආරක්ෂාව සහ නිදහස" නැත. වඩාත් යහපත් දේශපාලනයක්, අවස්ථා ඇති ආර්ථිකයක්, සමානාත්මතාවය සහ අනෙක් මිනිසුන්ට ගරුකරන සමාජයක් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය. නමුත් ආරක්ෂාව සහ නිදහස අපගේ හැඟීමකි, දැනීමකි.


ආරක්ෂිත බව හඟවන දර්ශනයන් මිනිසාට අවශ්‍යයි. විවිධ කාලවලදී චින්තකයින් ඒ ඒ සමාජවල මිනිසා හමුවේ ඇති අභියෝග පෙන්වා දෙති. එයින් මිනිසාගේ ආරක්ෂාව සහ නිදහස තහවුරු කරවයි. එක්තරා අවදියකදී ඔවුන් හැඳින්වූයේ බුදුවරු ලෙසය. තවත් සමාජවල ඔවුන් හැඳින්වුයේ දාර්ශනකයින් හෝ චින්තකයින් ලෙසය. ඔවුන්ගේ මගපෙන්වීම හෙවත් දර්ශනය මිනිසා යහපත් හැඟීම්වලින් සුවපත් කරවයි.

 

මවිපිය සෙනෙහස හෝ වෙනත් කෙනෙකුගේ සෙනෙහස සමග කිරි බී හැදෙන මිනිසා හැගීම්බරය. මිනිසා සුවපත් වන්නේ ආදරය, සෙනෙහස වැනි හැඟීම් මගිනි. අධ්‍යාත්මික දර්ශනය අවශ්‍ය වන්නේ මෙම හැඟීම් මිනිසාට ජනිත කරගැනීමටය. බුදු දහමේ මූලික භාවිතය පවතින්නේත් දුක හදුනාගැනීමත්, දුක නැතිකිරීමත් මතය. සුවපත්වීම සහ සතුටින් ජීවත්වීම අපේක්ෂා කරයි.

 

සංවේදීවීම, තේරුම්ගැනීම මෙම යුගයේ අත්‍යවශ්‍ය ගුණ ධර්මයන්ය. වේගයෙන් වෙනස් වන සමාජවල ඉකමණින් අනාරක්ෂිත බව දැනේයි. එහෙයින් තමන්ගේ යහළුවන්, අසල්වැසියන්, පවුලේ සමාජිකයින් සහ තමන් ගැන සංවේදීවීම අධ්‍යාත්මිකයි.


සංවේදීවීම යනු මට ඔබව තේරුම්ගන්න පුළුවන්, මම ඔබත් සමගයි. මට කළහැකි දේ කුමක් ද? යන හැඟීම තහවුරු කිරීමයි. ඇතිවෙන අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගැනීමේ අමනුස්සකම බැහැර කළයුතුය. කේන්තියෙන් ප්‍රතිචාරදැක්වීම වළක්වා ගතයුතුය.  

සංවේදීවීමෙන් තේරුම්ගනියි. තේරුම්ගන්නා තරමට අප සුවපත් වෙමින් අනෙත්කෙනා සුවපත් කරවයි. මට තවත් කෙනෙක් සිටියි, මම තනි නෑ යන ආරක්ෂිත බව දැනේයි.


අනාරක්ෂිත බව නිතරම නරක හැඟීමක් ද නොවේ. මිනිස්සු ස්වාධීනව, නිවහල්ව, නිදහස්ව සිතන්න පොළඹවන්නේ අනාරක්ෂිත බවයි. වඩාත් යහපත් තත්වයන් ඇතිකරගැනීමට අවශ්‍ය ආත්මවිශ්වාසය වර්ධනය කරවයි.


තමන්ට කළහැකි දේ උපරිමයෙන්ම කිරීම, නව හැකියාවන් දියුණු කරගැනීම, අවශ්‍යතාවට පමණක් පරිභෝජනය කිරීම, සතුට ඇතිකරවන මිත්‍ර සන්බන්දතා, ජීවිතාවබෝදය පුළුල් කරන දේ කියවීම, තමන් අත්පත් කරගත් දක්ෂතා කුසලතා ගැන තෘප්තිමත් විම, මේ මොහොත තුළ සතුටෙන් ජීවත්වීම ආත්මශක්තියයි.


ආරක්ෂිත බව දැනෙන්නට නම් ලෝකය වෙනස් කිරීමට පෙර ලෝකයෙන් අපේක්ෂා කරන වෙනස තමන් තුළ ඇති කරගත යුතුය.


බටුවංගල සමිද්ධි




 

No comments:

Post a Comment