Friday, January 10, 2020

යුරෝපීය ළමයින්ගේ බෑගයේ ඇති කොන්ඩම්



බටුවංගල සමිද්ධි හිමි


උසස් පෙළ විභාගයට සිංහල විෂය ඉගැන්වූ ගුරුවරයා සංචාරක ව්‍යාපාරය පිළිබඳ රචනාවක් ලිවීමට උගන්වන ලදි. ඔහු ඉගැන්නූ කරුණු මට අදටත් මතකය. ඔහු කියපු කරුණක් නම් සංචාරක ව්‍යාපාරය ලංකාවේ සංස්කෘතියට විශාල හානියක් කරන බවයි. ඒ සඳහා ඔහු ලබාදුන් උදාහරණය නම් යුරෝපයේ ගැහැණු ළමයි පාසල් හෝ වෙනත් ගමනක් බිමනක් යෑමේදී අම්මා විසින් ඇයගේ බෑගයට කොණ්ඩම් එකක් දාන බවයි. ඒ තරම්ම එම සංස්කෘතිය සංකර වී (=පිරිහීමට පත්වීම) ඇති බවයි. ඔහු කවදා හෝ යුරෝපයට පැමිණි බවක් මම නොදනිමි. අඩුම තරමින් යුරෝපීය ජාතීන් සමග ඇසුරක් ඇති බව හෝ නොදනිමි.

වාසනාවට මෙන් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට සංචාරක ව්‍යාපාරය ගැන රචනාවක් ලිවීමට තිබුණි. ඉහත කරුණ ද රචනාවට ලියුවෙමි. ඉහළම (A) සාමාර්ථයක් ඇතිව විභාගය සමත් වුණෙමි. එසේ වන්නේ මීට සියවස් දෙකකට පමණ (අවු.20.) පෙරය. මේ කතාවම මීට දින කිහිපයකට පෙර මට වඩා තරමක් වැඩිමහල් භික්ෂුවක් විසින් ද මාධ්‍යය හමුවක කියන ලදි. මම එම කථාව අසන්නේ යුරෝපීය රටක සිටය. මෙවැනි කතා පරපුරෙන් පරපුරට අධ්‍යාපනය හරහා එන බව පැහැදිලිය. මම සිතන්නේ මෙය ලාංකේය සමාජයේ පවතින දැණුම, ආකල්පවල පිරිහීමකි.එසේම දැණුම සහ ආකල්ප අඩුවෙන් වර්ධනයවීමෙ ප්‍රතිපලයකි.

කිසිම සමජයක් උසස් හෝ පහත් කොට සැලකිය නොහැකිය. සමාජ හෝ සංස්කෘතීන් අනෙකට වඩා මේක උසස් ලෙස සලකන්නේ සමාජ සංස්කෘතීන් ගැන අඩු අවබෝදයක් ඇති අයයි. නමුත් ඕනෑම සමාජයක දුබලතා සහ ප්‍රබලතා ඇත. ලාංකේය සමාජයේද දුබලතා මෙන්ද ප්‍රබලතා ද ඇත. විවිධ හේතූන් නිසා ලාංකේය සමාජයේ දුබලතා බහුලව ඇත. ලිංගික අධ්‍යාපනය නැතිකම නිසා සමාජ ප්‍රශ්න රැසක් තිබීම හොඳම නිදසුනකි. අඩුම තරමින් පවුලතුළ ඒ ගැන කතාකිරීම තහංචියකි. ලැජ්ජාවට කරුණකි. දරුවන් දැණුවත් කරනවාට වඩා ඔවුන් දැඩිව පාලනයකිරීමට ඇතැම් දෙමාපියන් උත්සහ කරන බව දැක ඇත්තෙමි. එය විසදුමක් නොවේ.

යුරෝපය යනු තනි රටක් හෝ සමාජයක් ද නොවේ. එය රටවල් ගණනාවක එකතුවකි. සමාජ විශාල සංඛ්‍යාවක් පවතී. ලිංගික අධ්‍යාපනය යුරෝපීය සෑම රටකම සහ සමාජයකම සාමාන්‍ය විෂයකි. නමුත් කිසිම යුරෝපීය සමාජයක අම්මලා දූවරුන්ගේ බෑගයට කොණ්ඩමක් දමා ගණිකාවෘතියේ යවන බව මම නොදනිමි. නොදැක්කෙමි.
අවුරුදු 18 වන විට ශරීරය ගැන අවබෝදයක් ලබාගෙන ඇත. විවිධ ලිංගික අඩන්තේට්ටම්වලින් බේරීමට සහ තමනුත් ඒ දේවලින් වැළැක්වීමට බහුතරයකට අවබෝදය ඇත. ඔවුන් කෙතරම් දියුණු මට්ටමකට පත් වී ඇද්දයත් අම්මලා තාත්තලා තමන්ගේ දුවට හෝ පුතාට සහකාරියක් හෝ සහකාරියක් සොයාදීම වැනි පැරණි ක්‍රමවලින් බැහැරවී ඇත. පවුල තුළ ලිංගික දේවල් ගැන කතා කරති. ශරීරයේ සිදුවන වෙනස්කම් ගැන දරුවන් දැණුවත් කරති. දරුවන් තමන්ට අවශ්‍ය සහකාරිය හෝ සහකරු තෝරාගැනීමට සමත්ය. ඒ සඳහා පෞරුෂය වර්ධනය වී ඇත. යුරෝපීය සමාජයේ ද ලංකාවේ මෙන්ම ලිංගික අධ්‍යාපනයට එරෙහිව ආගමික කොටස් පෙරට පැමණි අවස්ථා වාර්තා වේ. නමුත් ආගමික බලය සමාජයෙන් ගිලිහී ඇති නිසා ලිංගික අධ්‍යාපනය නැති කිරීමට නොහැකිවිය. ලිංගික මනෝවිද්‍යාව අංශ ගණනාවක් ඔස්සේ වර්ධනය වී ඇත. අය මානව සංහතියටම සෙතකි.

ආරම්භයේදී පෙන්වාදුන් පරිදි කොණ්ඩමය ගැන පමණක් නොව තවත් බොහෝ දේ පිළිබඳව සමාජයේ අචීරකල්පිත (=යල්පැනගිය) මතවාද, අදහස් , පිළිගැනීම් ඇත. අපි මේවා බුද්ධියෙන් විමසිය යුතුය. කෙනෙක් කියූ පමණින් නොපිළිගෙන විවිධ පැති කඩවල් ගැන කල්පනා කළයුතුය. අන්තර්ජාලය, ජාත‍යන්තර් භාෂා හැකියාව වර්ධනය වී ඇති මේ යුගයේ සෙවීම පහසු දෙයකි. පත්විය යුත්තේ ඕනෑම දෙයක් විමසීමෙන් තොරව කීමට නොවේ. කියූ පමණින් පිළිගැනීමට ද නොවේ. විමසීමටය. විමසා බැහැරකිරීමටය. විමසා ඇතැම් දේ පිළිගැනීමටය.

පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කාතබ්බං පරීක්ෂාකොට, පරීක්ෂාකොට තමන්ට ප්‍රත්‍යක්ෂ වූ කල් හී හෙවත් හොඳින් දැක හඳුනාගත් කල්හී ප්‍රකාශ කරන්නයයි බුදුහු දෙසූ බව සඳහන්ය.

පින්තූරය:
ලිපිය ලියන අතරතුර කැළය මැදින් ඇවිදින්න ගිය කල්හී ගන්නා ලද පින්තූරයකි. ළමුන් පිරිමි, ගැහැණු භේදයකින් තොරව ශාරීරික අභ්‍යාස සහ වෙනත් ක්‍රියාකාරකම්වල නිරතවීම යුරෝපීය රටවල සාමාන්‍ය දෙයකි.

No comments:

Post a Comment