Wednesday, December 18, 2019

වාහනපැදවීමට භික්ෂුවට කැපද? ගල්කන්දේ ධම්මානන්ද හිමි

Image result for galkande dhammananda thero 
  ගල්කන්දේ ධම්මානන්ද හිමි
https://www.facebook.com/dhammananda/posts/10220268408010682
මුහුණු පොතේ තබන ලද සටහනකින් උපුටාගන්නා ලදි

භික්ෂූන් වහන්සේ නමක විසින් පදවන ලද වාහනයක ගැටීමෙන් තරුණයෙකු මියගිය පුවතක් අසන්නට ලැබිණ. මේ පදනම් කරගෙන ලියැවෙන පෝස්ට් කිහිපයක්ම කියවන්නට ද ලැබිණ.
මේ එබඳු පළමු රිය අණතුර නොවේ. නොයෙක් විට මෙබඳු ප්‍රවෘත්ති අසන්නට ලැබේ.
මේ තත්ත්වය වෙනස් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක් ද?
මට වැටහෙන පරිදි මෙයට දිය හැකි යතාර්ථවාදී විසඳුම වන්නෙ භික්ෂූන් වහන්සේලාට නීත්‍යානූකූල ලෙස රිය පැදවීමට අවසර ලබා දීමයි. එබඳු පරිසරයක හැංගි හොරා නැතිව රියැදුරු පාසැලකට බැඳී නිසි පුහුණුවක් හා මාර්ගනීති පිළිබඳ අවබෝධයක් ලැබීමෙන් පසුව අදාළ විභාග සමත් වී, රථයක් පැදවීමට තරම් සුදුසු ශාරීරික සහ මානසික තත්ත්වයක සිටිනා බව ඔප්පු කිරීමෙන් පසුව රියැදුරු බලපත්‍රය ලබා ගත හැකිය.
රිය පැදවීම නීත්‍යානුකූල ක්‍රියාවක් වන බැවින් කාට හෝ අසුවේදෝ'යි බියෙන් තවදුරටත් හැංගි හොරා වාහන පැදවිය යුතු නැත. නීත්‍යානුකූල සහ නිවැරදි ක්‍රියාවක යෙදෙන්නෙකුය යන විශ්වාසයෙන් රථය පැදවිය හැකිය. මෙසේ කිරීමෙන් පසුව නීතියට අනුගත නොවී රියපදවන භික්ෂුවක් වෙත්නම් රටේ අනෙකුත් නීති කඩකළ විට භික්ෂුවක් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයෙන්ම කිසිත් වෙනසක් නැතිව දඩුවම් පැමිණවිය හැකිය.
භික්ෂූන් රථයක් පැදවීම වරදක් දැයි වරක් මගේ ආචාර්යයන් වහන්සේ ගෙන් විමසා සිටියෙමි. උන්වහන්සේ පෙන්වා දුන්නේ 'ලෙඩක් දුකක් නැති භික්ෂුවක් රථයකින් යනවා නම් එය විනයට අනුව වරදක්' බවයි. එහෙත් විනයේ සඳහන් 'රථයක්' යනු සතුන් අදින රථ බවත්, සතුන් අදින රථයකින් නිරෝගී භික්ෂුවක් ගමන් කිරීමේ වරද වන්නේ සතුන්ට හිංසා කිරීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. අද ඇති වාහන සතුන් අදින වාහන නොවන බැවින් එය පැදවීම කිසිසේත්ම වරදක් නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
මගේ හැඟීම වාහනයක් යනු අන් ඕනෑම උපකරනයක් මෙන් වූ තවත් උපකරණයක් බවයි. පෑන, පරිගණකය මෙන් වූ තවත් උපකරණයක් බවයි. ඒ උපකරණය යහපත් අරමුණු සඳහා භාවිතා කිරීමේ කිසිදු වරදක් නොමැති බවයි.
(මා ඉදිරිපත් කර ඇති අදහස ඇතැමෙකුට නිසි සේ වැටහී නොමැති සේ පෙනෙන බැවින් මේ පසු සටහන එකතු කරමි.
රිය පැදවීම තම කටයුතු සඳහා අවශ්‍ය කරන භික්ෂුවකට නීත්‍යානුකූල ලෙස ලබා ගැනීමට ඇති බාධා ඉවත් කළ පමණින් රටේම භික්ෂූන් රියැදුරු බලපත් ගන්නට යන්නේ නැත. නමුත් නිසි පුහුණුවක් නැතිව හොරෙන් යන්තම් වාහනය හැසිරවීමට හුරුව ඇතිව පාරට වාහන ‍රැගෙන එන භික්ෂූන් ඉන් මුදා ගත හැකිය. ඔවුන් පැකිලීමක් නැතිව පුහුණුව ලබා ඉන්පසුව බලපත්‍රයක් සහිතව වාහනය පදවන තැනට මේ මගින් ගෙන ආ හැකිය.
මේ ලිපියට පාදක වුණු සිද්ධිය අදාළ භික්ෂුවට වෛර කරන අතර මිය ගිය තරුණයා කෙරෙහි අනුකම්පා සහගත වීම ඇතැම් දෙනෙකුගෙන් පෙනෙන හැසිරීමයි. නමුත් මේ දෙදෙනා කෙරෙහිම මෛත්‍රී සහගත වීම ද මේ 'දෙදෙනාම' බේරා ගත හැකි පිළිතුරක් ගොඩ නැගීම ද බුද්ධි ගෝචර මැදිහත් වීමයි. මා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා වන එක ආකාරයකි.
බොහෝ දෙනා අසා තිබූ 'යම් ග්‍රාම්‍ය මට්ටමක් පෙන්නුම් කළ' ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ලෙස දැක්විය හැක්කේ ක‍තෝලික පියතුමන්ලා රියැදුරු බලපත්‍ර ලබාගෙන එම හැකියාව සමාජයේ උන්නතිය සඳහා ඉතා හොඳින් භාවිතා කරන බවය. එසේ වූ පමණින් පියතුමන්ලා විවාහ වන්නට ද අවසර ඉල්ලන්නේ නැත. එය කිසිසේත්ම අප සාකච්ඡා කරන මාතෘකාවට අදාළ නැති සම්පූර්ණයෙන්ම වෙනස් මාතෘකාවකි.
බුදුදහම අනිත්‍යතාව හෙවත් වෙනස් වීම අවධාරණය කොට දක්වයි. එහෙයින් වෙනස්වීම් ඉදිරියේ අවශ්‍ය පරිදි වෙනස් වීමට තීරණය කිරීම දියුණුවේ ලක්ෂණයකි. තවත් කාලයක් පැවතීමට අදාළ වන තීරණයකි. එහෙත් එය සැවොම එකවර එකඟ වන කරුණක් නොවනු ඇති. (මෙබඳු තීර්ණයක් නිසා නව ප්‍රශ්න ඇති නොවනු ඇතැයි මම නොපවසමි. එසේ ප්‍රශ්න මතුවන විට ඒවාටද මේ ආකාරයටම ප්‍රායෝගික ලෙස සිතා පිළිතුරු ගොඩනැගිය යුතුය).

No comments:

Post a Comment